එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක හමුදා සහ අදාළ පරිශ්‍රයන් ප්‍රහාරවල ඉලක්කයන් නොවිය යුතු බව ආරක්ෂක මණ්ඩලය අවධාරණය කරයි
2024-10-15 12:10:33
Share with:

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක හමුදා සහ අදාළ පරිශ්‍රයන් ප්‍රහාරවල ඉලක්කයන් නොවිය යුතු බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අවධාරණය කරයි.

ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් ඊයේ(14) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියාසිටියේය. ලෙබනනය හා ඊශ්‍රායලය අතර ඇති තාවකාලික දේශසීමා මායිම ආශ්‍රිත ව අඛණ්ඩ ව ගැටුම් පැවතීම සම්බන්ධයෙන් ද මෙම නිවේදනය මගින් අවධානය යොමු කෙරිණ. එමෙන්ම මෙම ගැටුම්වලින් ලෙබනනයේ පිහිටා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තාවකාලික හමුදා කඳවුරට ප්‍රහාර එල්ල වීම සහ සාම සාධක නිලධාරීන්ට තුවාල සිදු වීම පිළිබඳව ද කනස්සල්ල පළ කර ඇත. සාමසාධක හමුදා හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පරිශ්‍රවල සුරක්ෂිතභාවය සහතික කරන ලෙස එම නිවේදනය මගින් විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

ආරක්ෂක මණ්ඩලයේ මේ මස වාරික සභාපතිනිය වන, ස්විට්සර්ලන්තයේ නිත්‍ය නියෝජිතවරිය ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15 වෙනුවෙන් මෙම නිවේදනය ප්‍රකාශයට පත් කළේ ලෙබනනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් පැවැත්වීමෙන් පසුව ය.

කලාපීය ස්ථාවරත්වය තහවුරු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ භූමිකාවට සහාය දක්වන බව ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් යළිත් අවධාරණය කර තිබේ. එමෙන් ම, සාමාන්‍ය ජනතාවට හානි සිදු කිරීම, සිවිල් යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල වීම මෙන් ම අවතැන්ව සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව ද එම රටවල් දැඩි අවධානය යොමු කරන බව මෙම ඒකාබද්ධ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම