ගෙවී ගිය වසර 75 තුළ චීනයේ ගමන්මඟ
2024-10-11 10:51:23
Share with:


ගෙවී ගිය වසර 75 තුළ චීනයේ ගමන්මඟ දෙස අවධානය යොමු කිරීමේ දී අංශ ගණනාවක් ඔස්සේ එය විග්‍රහ කළ හැකි ය. විශේෂයෙන්ම ආර්ථික ව්‍යුහය සලකා බැලූ කල චීනය සිය දළ ජාතික නිෂ්පාදනය ක්‍රමයෙන් වර්ධනය කර ගැනීමට කටයුතු කර ඇත. එපමණක් නොව ඒක පුද්ගල ආදායම ද ඉහළ නංවා තිබේ. නිෂ්පාදන සහ වෙළඳ අංශය නව්‍යකරණය සමග ඵලදායී ලෙස සංවර්ධනය කර ගනිමින් එය රටේ සංවර්ධනයේ පදනම බවට පත් කර ගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා පවසයි.

දුගී බවින් මිදීමේ අභියෝගය ජය ගෙන සමාජ ව්‍යුහය ද ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට චීනයට හැකි ව ඇත. එමෙන්ම නාගරීකරණය ඵලදායී ලෙස කළමණාකරණය කර ගනිමින් සිය සංවර්ධනයට එය ශක්තියක් කර ගැනීම ද ඉතා සුවිශේෂ ය. විශේෂයෙන්ම අධ්‍යාපන සංවර්ධනය උදෙසා වැඩි අවධානයක් යොමු කරමින් එය සාර්ථක අනාගත අයෝජනයක් බවට පත් කර තිබීම ඉතා වැදගත් බව හෙතෙම කියාසිටී. සෞඛ්‍ය අංශයේ සංවර්ධන ඉලක්ක ද ජය ගනිමින් යටිතල පහසුකම් සංවර්ධනය වේගවත් කරමින් ආර්ථික සහ සමාජ සංවර්ධනය තිරසර මට්ටමකට රැගෙනවිත් තිබේ.

පාරිසරික සුරක්ෂිතතාව වෙනුවෙන් වන ප්‍රධාන නිර්ණායක සාක්ෂාත් කර ගනිමින් සමස්ත ලෝකයේම දේශගුණික විපර්යාස ගැටලු සඳහා මනා විසඳුම් සැපයීම ද විශේෂත්වයකි. ඒ අනුව ගෙවී ගිය කාලයේ සියලු අභියෝග ජය ගනිමින් ලොව ඉහළ තලයකට පැමිණීමට චීනය සමත්ව ඇති බව නොරහසකි. එහිදී මෙම ප්‍රතිලාභ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග ද හුවමාරු කර ගැනීමේ චීනයේ විවෘත විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු ය. අන් රටවල යටිතල පහසුකම් සංවර්ධනය, ආයෝජන අවස්ථා, අධ්‍යාපන හුවමාරු වැඩසටහන් මෙන්ම තාක්ෂණික පුහුණු අවස්ථා ඒ අතර ප්‍රධාන වේ. මෙමගින් පෙන්නුම් කරනුයේ චීනය ගෙවී ගිය වසර 75  තුළ පොදු සංවර්ධනයක් කරා ගමන් කළ අයුරුයි. එය වත්මන් ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වයෙන් තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව ද මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා වැඩිදුරටත් කියාසිටී.

ගුවන් විදුලිය
20241103ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම