මානව හිමිකම් කරුණුවලදී ඇමරිකාව අනුගමනය කරන ද්විත්ව ප්‍රමිතිය ජගත් ප්‍රජාවේ දැඩි විවේචනයට
2024-10-09 20:08:03
Share with:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57වන සැසිවාරය පවත්වා මේ වන විට මාසයක් ගත වී තිබේ. එම කවුන්සිලය චීන මානව හිමිකම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ ඇමරිකාව ඇතුළු රටවල් රැසක් චීනයට එරෙහිව පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක හේතුවෙන් චීන ජනතාවගේ මානව හිමිකම්වලට සෘණාත්මක බලපෑම් සිදු වූ බවයි. එබැවින් පරිපාලනමය හා නීතිමය වශයෙන් ගත යුතු පියවර මගින් ඊට මුහුණ දීමේ අයිතිය චීනයට හිමි බව එම වාර්තාවෙන් අවධාරණය කර ඇත.

 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපත් කළ මෙම වාර්තාවට මේ වන විට රටවල් සියයකට වැඩි සංඛ්‍යාවක් විවිධාකාරයෙන් එකඟතා පළ කර තිබේ. ශින් චියං , හොං‍කොං සහ ටිබෙටය යන ප්‍රදේශවල කටයුතු චීනයේ අභ්‍යන්තර කටයුතු බවත්, ඇමරිකාව එවන් කටයුතුවලට මැදිහත්වීමට කිසිදු සාධාරණත්වයක් නොමැති බවත්, එම රටවල් අදහස් දක්වමින් අවධාරණය කර ඇත. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මානව හිමිකම් දේශපාලනීකරණයට ලක් කිරීමේ ක්‍රියාකලාපය ජගත් ප්‍රජාව පිළිගෙන නැතැයි එම අදහස්වලින් මැනවින් පිළිබිඹු වෙයි.

මානව හිමිකම් මුවාවෙන් සෙසු රටවල් මැඩපැවැත්වීම ඇමරිකාවේ දිගුකාලීන උපාය මාර්ගයකි. මෙම උපාය මාර්ගය ප්‍රථමයෙන් ක්‍රියාත්මක කළේ පසුගිය 70 දශකයේදී ය. ඒ එවකට පැවති සෝවියට් සමූහාණ්ඩුව මර්දනය කිරීමේ අරමුණිනි. එතැන් සිට මේ දක්වා ඇමරිකාව මෙම උපාය මාර්ගය උපරිමයෙන් ක්‍රියාත්මක කර ඇති බව නොරහසකි. තම සතුරු රටවලට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය යන සාධකය උපයෝගී කරගෙන අදාළ අසත්‍ය වාර්තා සකස් කිරීමෙන්,  හෝ සෙනෙට් මණ්ඩලය හෝ කොංග්‍රස් මණ්ඩලය හරහා සිය සතුරු රටවලට එරෙහිව පනත් සම්මත කිරීමෙන් , හෝ මාධ්‍ය මෙහෙයුම් සිදු කිරීමෙන් ඇමරිකාව සිය එදිරිවාදී රටවල් මර්දනය කිරීමෙහි නියැලී සිටී. එමෙන් ම රට තුළ රාජ්‍ය නොවන සංවිධාන මිලියන 2කට වැඩි සංඛ්‍යාවක් ඇමරිකානු රජයේ මෙම මානව හිමිකම් ව්‍යාපාරයට දායක ව සිටී.ඇමරිකානු රජයෙන් ලැබෙන මූල්‍යාධාර යටතේ එම රාජ්‍ය නොවන සංවිධාන ලොව පුරා අදාළ රටවලට එරෙහිව විවිධ කටයුතුවල නිරත වෙයි. එම කටයුතු හරහා විවිධ රටවල ඇමරිකාවේ යහපතට ගැලපෙන පරිසරයක් නිර්මාණය කරමින් ඇමරිකාවේ මතවාදය ප්‍රචලිත කිරීම, එම රාජ්‍ය නොවන සංවිධානවල අරමුණ ය.එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වවාදී සංවිධානවල පරිපාලනයට මැදිහත්වීම ඇමරිකාවේ මානව හිමිකම් ව්‍යාපාරයේ තවත් වැදගත් කොටසකි. මානව හිමිකම් යන තේමාව මගින් තම සතුරු රටවල් ඉලක්ක කරගෙන එම බහුපාර්ශ්වවාදී සංවිධාන තුළ විවිධ තීරණ නිකුත් කිරීම, ඇමරිකාවේ එක් මුහුණකි. ඊශ්‍රායල-පලස්තීන ගැටුම වැනි ඇතැම් මානව හිමිකම් කරුණුවලදී යුක්තිය පසෙකලා අසාධාරණ ලෙස කටයුතු කිරීම ඇමරිකාවේ තවත් මුහුණකි. ඇමරිකාවේ‍ මෙම දෙබිඩි පිළිවෙත් ජගත් ප්‍රජාව දැඩි ලෙස විවේචනයට ලක්ව තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම