චීන මහජන සමූහාණ්ඩුවේ 75 වන අභිමානවත් සංවත්සරයට සුබ පැතුම්- ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති
2024-09-29 17:07:44
Share with:

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 75 වන අභිමානවත් සංවත්සරය ඔක්තොම්බර් මස පළමු වන දින සමරනු ලබයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මාධ්‍ය ජාලය ලෙස උණුසුම් සහ හෘදයාංගම සුබ පැතුම් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාටත් සමස්ත චීන ජනතාවටත් පිරිනමන බව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපති ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතා පවසයි. ගෙවී ගිය කාලයේ චීනයේ ගමන්මග සුවපහසු නොවීය. විවිධ බාධක කම්කටොලු මැද ඉතා දිළිඳු රටක තත්ත්වයේ සිට ලෝකයේ දැවැන්තම ආර්ථික බලවතෙකු බවට පත්වීමට චීන ජනතාව මෙන්ම එහි දේශපාලන නායකයින් ද විශාල කැපකිරීමක් සිදු කර ඇත. අද වනවිට චීනය එහි ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටින බව හෙතෙම සඳහන් කරයි.

විශේෂයෙන්ම ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ දේශපාලන, ආර්ථික සහ සමාජීය දැක්ම කෙරෙහි වර්තමානයේ සමස්ත ලෝකයේම අවධානය යොමුව ඇත. ඔහු හඳුන්වා දුන් “හවුල් ආර්ථිකය” යන සංකල්පය ආකර්ෂණීය මෙන්ම ලෝකයට ඉතා අත්‍යවශ්‍ය සංකල්පයකි. චීනය සතු විද්‍යා හා තාක්ෂණ දැනුම සහ ආර්ථික ශක්තිය ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් සමග හුවමාරු කර ගැනීම සඳහා චීනය දක්වන නැඹුරුතාවය ද ඉතා වැදගත් ය. එමෙන්ම චීනය මේ වනවිට ක්‍රියාත්මක කරමින් සිටින නව ප්‍රතිසංස්කරණ සහ විවෘතභාවය පිළිබඳ වැඩසටහන ඒ අතර ප්‍රමුඛ වන බව සභාපතිවරයා කියාසිටී.

වර්තමානයේ ලෝකය සංකීර්ණ ගැටළු රාශියකට මුහුණ දෙන අතර බිලියනයක පමණ ජනතාව සාගින්නෙන් පීඩාවට පත්ව සිටිති. එවන් පසුබිමක චීනය අත්පත් කර ගත් විද්‍යා තාක්ෂණ සහ ආර්ථික ජයග්‍රහණ, එලෙස පීඩාවට පත්ව සිටින ජනතාව ජීවත් වන රටවල් සමග හුවමාරු කර ගැනීමේ චීන ජනාධිපතිවරයාගේ උත්සහාය ඉතා ප්‍රශංසනීය වේ. විශේෂයෙන්ම චීන ජනාධිපතිවරයාගේ එම වැඩපිළිවෙළ විනිවිදභාවය, විවෘතභාවය සහ නවීකරණය සමග ක්‍රියාත්මක කෙරෙන බව ද හෙතෙම පවසයි.

ගෝලීය බල දේශපාලනය තුළ විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින රටවල් සංවේදී තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටී. ඒ අතර චීනය සිය බලාධිකාරය බලහත්කාරයෙන් අන් රටවල් වෙත පවරනවා වෙනුවට තමන් සතු සංවර්ධනයන් සහ එහි ප්‍රතිලාභ ලෝකයේ සමස්ත ජනතාව වෙත ලබා දීම‍ට කටයුතු කරයි. එමෙන්ම දිළිඳුකම පිටුදැකීම පිළිබඳ ලොව බලවත්ම ආදර්ශය ලබා දී ඇත්තේ ද චීන මහජන සමූහාණ්ඩුවයි. එම වැඩසටහන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇගයීමට ලක් කර ඇති අතර එය ශ්‍රී ලංකාව වැනි රටවලට ද වැදගත් වන බව සභාපතිවරයා ප්‍රකාශ කරසිටී.

චීනය සහ ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් තිස්සේ ඉතා සමීපව කටයුතු කරන රටවල් දෙකක් වන අතර දෙරට ජනතාව නිරතුරු මිත්‍රශීලීව කටයුතු කරයි. අන්‍යෝන්‍ය ආගමික සහ සංස්කෘතික සහසම්බන්ධයකින් යුතු මෙම ද්විපාර්ශ්වික සබඳතාව සදාකාලිකව පවතිනු ඇති බවත්, චීන මහජන සමූහාණ්ඩුවේ 75 වන අභිමානවත් සංවත්සරයට සුබ පැතුම් එක් කරන බවත්  ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම