චීන විප්ලවීය ජයග්‍රහණයේ 75වන සංවත්සරයට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සුබ පැතුම්
2024-09-29 17:38:59
Share with:

චීන විප්ලවීය ජයග්‍රහණයේ 75වන සංවත්සරය සැමරීමට සූදානම් වන චීන කොමියුනිස්ට් පක්ෂයටත්, චීන රජයටත්, චීන ජනතාවටත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් සහ ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් අපගේ උණුසුම් සහෝදරාත්මක සුබ පැතුම් පිරිනමන බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වෛද්‍ය ජී වීරසිංහ මහතා පැවසීය.

1949 ඔක්තෝබර් පළමු වැනිදා චීන මහජන රජය බිහි වූයේ චීන විප්ලවය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවය. මේ වන විට ගත වූ 75ස් වසර තුළ එදා අවඥාවට, අවමානයට, හෙළා දැකීමට ලක් වූ චීනය හා චීන ජනතාව අද ලෝකයේ මහා බලවේගයක් බවට වී ලෝක ආර්ථිකයේ ඉදිරි ශක්තිය බවට පත් ව ඇත. ඔවුන් සමස්ත ලෝකයටම යහපතක් කරමින් ඉදිරියට යාමට සමත් වී තිබේ.

චීනයේ ගත වූ අවුරුදු 75 දෙස බැලූ විට මාඕ සේතුං නායකයාගේ පටන් වර්තමානයේ මාක්ස් ලෙනින් වාදය තුළ පිහිටා සිටිමින් එහි මූලික දර්ශනයෙන් මෙහෙයවමින් නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය ගොඩනැඟීමට ප්‍රායෝගිකව සහ න්‍යායාත්මකව මගපෙන්වන චීන කොමියුනිස්ට් පක්ෂයේ ‍කේන්ද්‍රීය නායකයා ලෙසට ෂී ජින්පිං සහෝදරයා කටයුතු කරමින් සිටී. ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයට පමණක් නොව ජාත්‍යන්තර සමස්ත කොමියුනිස්ට් පක්ෂයන්ටම නායකත්වය දෙන මගපෙන්වන මහා නායකයා ලෙස පිළිගත යුතුය.

මේ ගත වූ වසර 75 තුළ සමාජවාදී සමාජයට අඩිතාලම දැමීමත් සමග චීන නායකත්වය විවෘතභාවය හඳුන්වාදීමේ ප්‍රතිඵලයක් ලෙස චීන ආර්ථිකය දැවැන්ත පිම්මක් පනිමින් සිටී. දළ දේශීය නිෂ්පාදිතය වෙනුවට ක්‍රය ශක්තිය මිනුම් දණ්ඩ ලෙස ගතහොත් චීනයේ හැකියාව ඇමරිකාව අභිබවා ගොස් තිබේ. 2021 වසර වන විට තම රටේ දරිද්‍රතාවයෙන් සම්පූර්ණයෙන් ඉවත් වූ රටක් ලෙස චීනය ඉතිහාසයට එක් වී ඇත. මේ කාලය තුළ නවෝත්පාදනයේ, විද්‍යා හා තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසකින් චීනය ලෝකයේ ඉදිරියෙන්ම සිටින රට බවට පත් ව සිටී.

චීනය සමාජ සංවර්ධනයේ නව පෙටුවක්, අලුත් පරිච්ඡේදයක් සම්පූර්ණ කරමින් යන විශාල ගමනක යෝධ පියවර සනිටුහන් කරමින් සිටී. එය සුමට මාවතක සිදු වන්නක් නොව ජාත්‍යන්තර වශයෙන් විශාල අර්බුදකාරී වාතාවරණයක සහ නොසන්සුන් තත්ත්වයක් හමුවේ චීන කොමියුනිස්ට් පක්ෂය අද ඉතා ම සාර්ථක නායකත්වයක් සපයමින්, ගෝලීය දකුණ ශක්තිමත් කරමින් එහි බ්‍රික්ස් හා ශැංහයි සංවිධානය හරහා ක්‍රියාත්මක වෙමින් සිටී. එම නිසා චීනය සමාජවාදය ගොඩනැගීම සදහා ගෙන යන ක්‍රියාදාමයට ඉතසිතින් සහෝදරත්වයෙන් සුබ පතන අතර ඔවුන් සමග උරෙනුර ගැටෙමින් ඔවුන් සමග යාමට අපගේ ඇති කැමැත්ත ප්‍රකාශ කර සිටින බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් වෛද්‍ය ජී වීරසිංහ මහතා පැවසීය.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම