ඇමරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත්වීම සිදුකිරීම ජගත් ප්‍රජාව කිසිසේත් පිළිනොගන්නා බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා නිව්යෝර්ක් හි දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා හා ඒ ඒ රටවල විදේශ අමාත්‍යවරුන් හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය 24 වනදා Geneva හි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඇමරිකාව ප්‍රමුඛ ඇතැම් රටවල් චීනයේ ෂින්ජියං ප්‍රදේශයට අදාල ප්‍රශ්නය මතු කරමින් චීනයේ මානව හිමිකම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර ඇත. නමුත් බොහෝ මුස්ලිම් රටවල් ඇතුළු ලෝකයේ රටවල් 80ක් චීනයට සහාය පළ කරමින් පොදු ප්‍රකාශනයක් එහිදී ඉදිරිපත් කළ බව වං යී මහතා සඳහන් කළේය. එමෙන්ම තවත් 20කට වැඩි රටවල් විවිධ අයුරින් චීනයේ සාධාරණ ස්ථාවරයට සිය සහාය පළ කර තිබේ. ඇමරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් සිදු කළ මෙම අනිසි දේශපාලන ක්‍රියාවට ජගත් ප්‍රජාව තුළ කිසිදු පිළිගැනීමක් හිමි නොවන බව ඉන් මනාව පිළිබිඹු වේ.
මුස්ලිම් ජනතාවගේ මානව හිමිකම් කෙරෙහි සැලකිල්ල දක්වන බව ප්‍රකාශ කරන ඇමරිකාව මැද පෙරදිග ආදී ප්‍රදේශවල යුද ගැටුම් ඇති කරමින් හෝ එහි යුද තත්ත්වය උත්සන්න කිරීමට උත්සාහ කරමින් අහිංසක මුස්ලිම් ජනතාව විශාල පිරිසක් ඝාතනය කිරීම හා හානි සිදු කිරීමට හේතුව කුමක් ද යන්න පිළිබඳව වං යී මහතා එහිදී ප්‍රශ්න කර ඇත.
සාධාරණ පදනම මත ඒ ඒ රටවල් සමග මානව හිමිකම් ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට චීනය කැමැත්තෙන් සිටියි. ලෝකයට විවෘත වන චීනය විවිධ රටවල මිතුරු මිතුරියන් සාදරයෙන් පිළිගනී. නොවෙනස් සත්‍ය හමුවේ සියලු අසත්‍ය මත පරාජයට පත්වනු ඇති බව ද චීන විදේශ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.