චීන ප්‍රතිසංස්කරණ ඔස්සේ තහවුරු වන ජාත්‍යන්තර සංස්කෘතික බැඳීම්
2024-09-26 09:03:29
Share with:

චීනය වර්තමානයේ ක්‍රියාවට නංවා ඇති ප්‍රතිසංස්කරණ පිළිබඳව සියුම් ගෝලීය අවධානයක් යොමුවන්නේ එමගින් චීනය ජාත්‍යන්තර බැඳීම් තහවුරු කිරීමට ගෙන ඇති පුළුල් ප්‍රයත්න නිසා බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ චිත්‍රපට හා හඬකැවීම් අංශ ප්‍රධානි වජිරකුමාරි විතානගේ මෙනෙවිය කියාසිටී. මාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රවල සබඳතා මෙන්ම සංස්කෘතිය හා බැඳුණු මානව හුවමාරු මගින් මෙහිදී ඉටුකරෙන කාර්යභාරය අතිශය වැදගත් බව  ද ඇය පෙන්වාදෙය

චීන නායක, ජනාධිපති ෂී ජින් පිං මහතා ලොවට ඉදිරිපත් කළ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව සංකල්පය මෙන්ම ගෝලීය සංස්කෘතික මුලපිරුම ලෝකවාසී ජනතාවට සමානාත්මතාව පිළිබඳ මනා විශ්වාසයක් තිළිණ කළේය. මෙය තවදුරටත් තහවුරු කරමින් නවීන ප්‍රතිසංස්කරණ යටතේ විවිධ අංශවල මානව හුවමාරු පුළුල් කිරීමට චීන බලධාරීහු පියවර ගනිමින් සිටිති. මෙහිදී සිදුවන වඩාත්ම ඵලදායී ක්‍රියාවලිය වන්නේ විවිධ රටවල ජනතාව අතර පවතින සබඳතා වඩාත් සමීප වීමයි. ජනතාව තුළ අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැගීම ගෝලීය සහයෝගිතාවන්ට මනා අඩිතාලමක් සකස් කරන බව ද විතානගේ මෙනෙවිය පෙන්වා දෙයි.

චීනය සමග පවතින මාධ්‍ය සබඳතාවන් හි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ප්‍රදානය කෙරුණු ‘ODE TO JOY’ නමැති චීන ටෙලි වෘත්තාන්තය ‘කිරිල්ලියෝ’ ලෙසින් සිංහල හඬ කවා ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයා වෙත සමීප කරවීමට ජාතික රූපවාහිනිය පියවර ගත්තේය. එය මෙරට ජනතාව ආදරයෙන් වැළඳගත් නිර්මාණයක් වූ බව පැවසිය යුතුමය. එසේම, මෙවන් ප්‍රයත්න තුළින් දෙරට අතර පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වයට නැවුම් මුහුණුවරක් හිමි වේ. මේ වනවිට එම ටෙලිනාට්‍යයේ දෙවැනි කොටස ද තමාගේ මෙහෙයවීමෙන් සිංහල හඬ කවා විකාශය කිරීමට හැකි වීම පිළිබඳව අතිශය සතුටු වන බව ද විතානගේ මෙනෙවිය පවසයි. මේ නිර්මාණ ද්විත්වය මෙරට තරුණ ප්‍රේක්ෂකයන්ට චීන තරුණයන් පිළිබඳ මනා අවබෝධයක් රැගෙන ආ බව නොරහසකි. පොහොසත් කලා නිර්මාණ විවිධ රටවල, නොයෙකුත් වෙනස්කම් සහිත ජනතාව එකිනෙකා  සමීප කරවන්නේ ඉතා සියුම් ලෙසයි. මේ නිසාම චීන ජනාධිපතිවරයාගේ පොදු ජනතා සංකල්පයට මෙමගින් ප්‍රශස්ත පිටුබලයක් සැපයෙන බව ද ඇය පෙන්වාදෙයි.

ගෝලීය සහයෝගිතා සහතික කිරීමට කැපවන චීන මාධ්‍ය සමූහය ද විවිධ ආකාරයේ වැඩසටහන් සංවිධාන කරමින් සිටී. ආසියානු, අප්‍රිකානු ඇතුළු ලොව නොයෙකුත් කලාපවල වෙසෙන ජනතාවට චීනය පිළිබඳ නිවැරදි අවබෝධය ලබාදීමට ද එමගින් මනා කාර්යභාරයක් ඉටුකෙරේ.

ඉදිරියේ දී චීන මාධ්‍ය සමූහය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර පවතින සම්බන්ධතා තවදුරටත් පුළුල් වනු දැකීම තම අභිප්‍රාය බව ද චිත්‍රපට හා හඬකැවීම් අංශ ප්‍රධානි වජිරකුමාරි විතානගේ මෙනෙවිය කියාසිටී. එහිදී දෙරට අතර ජනතාවගේ මිත්‍රත්වය මෙන්ම නොයෙක් අංශ කරා විහිද පවතින ද්විපාර්ශ්වික සබඳතා තහවුරු වී චීන - ශ්‍රී ලංකා සහයෝගිතාවයේ තිරසර පැවැත්ම සහතික වනු ඇතැයි ද ඇය සිය විශ්වාසය පළ කරයි. 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම