චීන විදේශ ඇමතිවරයා ජී20 කණ්ඩායමේ රැස්වීමට එක් වෙයි
2024-09-26 17:22:28
Share with:

චීන විදේශ ඇමති වං යී මහතා ජී20 කණ්ඩායමේ රටවල ඇමතිවරුන්ගේ රැස්වීමට එක් වේ. ඔහු ඊට එක් වූයේ ඊයේ(25) නිව් යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වන අතරතුරදී ය.

ජී20 කණ්ඩායම එක්සත් ජාතීන්ගේ ප්‍රතිසංස්කරණ සඳහා ආධාරකරුවෙකු, ගෝලීය ආර්ථික හා මූල්‍ය පාලන ප්‍රතිසංස්කරණවල මෙන්ම ගෝලීය වෙළඳ පාලන ප්‍රතිසංස්කරණවල ප්‍රවර්ධකයෙකු සහ ගෝලීය සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නෙකු විය යුතු බව වං යී මහතා එම රැස්වීමේදී පැවසීය. G20 කණ්ඩායම සමඟ එක්ව හවුල්කාරිත්ව ජීවගුණය ඉදිරියට ගෙන යාමට චීනය කැමැත්තෙන් සිටින බව වං යී මහතා පෙන්වා දී තිබේ.  සමාන හා ක්‍රමවත් ලෝක බහු ධ්‍රැවීයතාවක් සහ වඩා වැඩි පිරිස්වලට ප්‍රතිලාභ දෙන සාධාරණ ආර්ථික ගෝලීයකරණයක් ගොඩනැගීම වෙනුවෙන් චීනය පෙනී සිටින බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

එදිනම වං යී මහතා ඇමරිකා-චීන සබඳතා සහ ඇමරිකා-චීන වෙළඳාම පිළිබඳ ජාතික කමිටු යනාදී ආයතනවල නියෝජිතවරුන් සමඟ සාකච්ඡා පවත්වමින් අදහස් හුවමාරු කර ගෙන තිබේ.

මෙම වසර චීනය හා ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 45වැනි සංවත්සරය බවත් චීනයේ සංවර්ධනය ඇමරිකාවටත් ලෝකයටත් අභියෝගයකට වඩා අවස්ථාවක් යැයි ඇමරිකාව තේරුම් ගත යුතු බවත් වං යී මහතා එම සාකච්ඡාවේදී සඳහන් කළේය.

ඇමරිකා-චීන සබඳතාව දෙරට හා ලෝකය සඳහා ඉතා වැදගත් සාධකයකි. එමෙන්ම දෙරටේ සමීප ආර්ථික හා වෙළඳ සබඳතා ඇති අතර, එය එකි‍නෙකාගෙන් වෙන් කළ නොහැකි බව ඇමරිකානු පාර්ශ්වය එහිදී පවසා ඇත.

ඊට සමගාමීව වං යී මහතා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ "සාමය සඳහා නායකත්වය පෙන්වීම" යන මැයෙන් ඉහළ මට්ටමේ රැස්වීමට එක් වෙමින් දේශනයක් පැවැත්වීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම