චීනයේ අභ්‍යවකාශ විද්‍යා තාක්ෂණික ජයග්‍රහණ සමස්ත මානවයන්ට සුබ සෙත ගෙන දෙයි--චීන ජනපති
2024-09-25 15:33:54
Share with:

චීනයේ චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතිය සිදු කෙරෙන්නේ සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, සාමකාමී භාවිතය, සහයෝගිතා හා පොදු ජයග්‍රහණ යන මූලධර්මයන්ට අනුකූල වන බව චීනයේ උත්තරීතර නායක ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. ඔහු එසේ ප්‍රකාශ කළේ පසුගියදා (23) බෙයිජිංහිදී චීන චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියේ “Chang'e-6” මෙහෙයුමට එක් වූ පර්යේෂකයන්ගේ නියෝජිතවරුන් හමු වෙමින් දේශනයක් සිදු කරමිනි.

අභ්‍යවකාශ විද්‍යා තාක්ෂණික ජයග්‍රහණ මගින් මානවයන්ට සුබ සෙත ගෙන දීම ප්‍රවර්ධනය සඳහා, බහුවිධ ජාත්‍යන්තර අභ්‍යවකාශ සහයෝගිතා පුළුල් කරමින් විවිධ රටවල් සමග සංවර්ධන ප්‍රතිඵල බෙදා ගනිමින් අභ්‍යවකාශ පාලනය පරිපූර්ණ කිරීමට දායක වීමට චීනය සූදානම් බව ද ඔහු පැවසීය.

ගෙවී ගිය දශක දෙක තුළ චීනයේ චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතිය කේන්ද්‍රීය තාක්ෂණ දුෂ්කරතා අඛණ්ඩව බිඳ දමමින් විද්‍යාත්මක සොයා ගැනීම, තාක්ෂණික නවෝත්පාදනය, ඉංජිනේරු ශක්‍යතාව,  පර්යේෂණ ප්‍රතිඵල භාවිතයට ලක්කිරීම, ජාත්‍යන්තර සහයෝගිතාව යනාදී අංශවලින් ඵලදායී ජයග්‍රහණ දිනා ගැනීමට සමත්ව තිබේ. ඉහළ ගුණාත්මක හා ඵලදායී චන්ද්‍ර ගවේෂණ මාර්ගයක් නිර්මාණය කරගනිමින් රටේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ සංවර්ධනය මෙන්ම මානවයාගේ විශ්ව ගවේෂණ මෙහෙයුම වෙනුවෙන් දරනු ලැබූ මෙම දැඩි පරිශ්‍රමය ජනාධිපතිවරයාගේ විශේෂ පැසසුමට ලක්විය.

අභ්‍යවකාශය සමස්ත මානවයන්ට අයිති සම්පතකි. එමෙන්ම අභ්‍යවකාශ ගවේෂණය මානවයන්ගේ පොදු ව්‍යායාමයකි. චීනයටත් සමස්ත මානවයාටත් අයිති “Chang'e” මෙහෙයුම, ජාත්‍යන්තර විද්‍යා තාක්ෂණික සහයෝගිතාව වෙනුවෙන් පුළුල් වේදිකාවක් මෙන්ම ගෝලීය අභ්‍යවකාශ ගවේෂණයට චීනයේ දැනුම හා බලය මුසු කර ඇති වටිනා අවස්ථාවක් බව ද ෂී ජින්පිං මහතා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම