ප්‍රබල ආත්ම විශ්වාසය පිළිබිඹු කරමින් නවීකරණ අභියෝගය ජයගන්නා චීනය
2024-09-24 17:34:17
Share with:

චීනය මෙතරම් සාර්ථක පරිවර්තනීය යුගයකට ප්‍රවේශ වී සිටින්නේ තම රට සතු අනන්‍ය වටිනාකම් කෙරෙහි තැබූ අචල විශ්වාසය නිසා බව ප්‍රවීණ මාධ්‍යවේදී සමන් ප්‍රියංකර නම්මුනිගේ මහතා පවසයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ දූරදර්ශී වැඩපිළිවෙළ ඊට මහඟු පිටුබලයක් වී ඇතැයි ද හෙතෙම පෙන්වාදෙයි.

චීනය මෑතකාලීනව රටේ සියලු අංශවලට බලපවත්වන අයුරින් පුළුල් ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දුන්නේය. ඒ චීන මාදිලියේ නවීකරණය අංගසම්පූර්ණයෙන්ම සාක්ෂාත් කිරීම සඳහා යි. එහිදී රටේ අභ්‍යන්තර කරුණුවලට බලපාන අංශවල ප්‍රතිසංස්කරණ පමණක් නොව ජාත්‍යන්තර කටයුතුවලට අදාළ ක්ෂේත්‍රයන් කෙරෙහි ද සියුම් අවධානය යොමු කර තිබීම සුවිශේෂ කරුණකි. එය ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට අතිශය වැදගත් වන බව නම්මුනිගේ මහතා කියාසිටී. චීනයේ ආයෝජනය කරන ව්‍යවසායන්ට සැපයෙන පහසුකම් මෙහිදී වඩාත් පුළුල් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ. එසේම, ‘එක් තීරයක් එක් මාවතක්’ වැනි වැඩසටහන්වල උසස් තත්ත්වයේ ප්‍රගතිය ද මෙහිදී මැනැවින් සාක්ෂාත් කෙරෙනු ඇත. ආසියානු හා අප්‍රිකානු කලාපයට එහි සාධනීය බලපෑම් අත්විඳිය හැකිවනු ඇති බවට ද  නම්මුනිගේ මහතා විශ්වාසය පළ කරයි.

වර්තමානයේ සමස්ත ලෝකයම සංවර්ධනය පිළිබඳ අභියෝගයට මුහුණ පා සිටී. එවන් පසුබිමක චීනය තම රටට ගැලපෙන සංවර්ධන මාදිලිය ඔස්සේ තම සංවර්ධනය සාක්ෂාත් කරමින් සෙසු රටවලට ද එය ව්‍යාප්ත කිරීම ඉතා ප්‍රශංසනීය වේ. සංවර්ධන, ආරක්ෂක හා සංස්කෘතික අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා චීන නායකයා ඉදිරිපත් කළ මුලපිරුම් ත්‍රිත්වය ද ලොව ඉහළ පිළිගැනීමට ලක් ව ඇත්තේ විපර්යාස බහුල ලෝකයට ඉන් තිරසර විසඳුම් තිළිණ කෙරෙන නිසාය. රටවල් අතර අන්‍යෝන්‍ය විශ්වාසය දල්වමින් බහුපාර්ශ්විකත්වය සහතික කරන චීනය ගෝලීය අර්බුදවලට ඒකාබද්ධ විසඳුම් සෙවීමේ අවශ්‍යතාව නිරන්තරයෙන් පෙන්වාදෙමින් සිටී. ඒ සඳහා විවිධ අංශවල මානව හුවමාරු පුළුල් කරමින් චීනය නිරත මෙහෙවරට පැසසුම් හිමිවිය යුතු බව ද නම්මුනිගේ මහතා පවසයි.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කුමන ආකාරයක සම්බාධක පනවමින්, පදනම් විරහිත චෝදනා එල්ල කරමින් බාධා කළ ද චීනය නිරත සංවර්ධන ගමන නතර කළ නොහැකිය. ඒ ඔවුන් නිශ්චිත මෙන්ම විධිමත් මෙන්ම ක්‍රමානුකූල සැලසුම් මත හිඳිමින් ක්‍රියාකරන නිසාය. විවෘතභාවයේ ප්‍රතිපත්ති තවදුරටත් පුළුල් කළ ඔවුහු මේ වනවිට ප්‍රතිසංස්කරණ අදියර සාර්ථකව දියත් කරමින් සිටිති.

මේ සියලු අභියෝග අතරතුර චීනය ගෝලීය සංවර්ධනයේ පෙරගමන්කරු බවට ද පත්ව සිටින්නේ සියවසක් තුළ ඔවුන් අත්පත් කළ සුවිශේෂ ආත්ම විශ්වාසයේ ප්‍රබලතාව පිළිබිඹු කරමිනි. එම අධිෂ්ඨානශීලීත්වය ඔවුන්ගේ දෙවැනි සියවස් අරගලය ද නිසි ජයග්‍රහණය කරා මෙහෙයවනු නිසැක බව ද ප්‍රවීණ මාධ්‍යවේදී සමන් ප්‍රියංකර නම්මුනිගේ මහතා ප්‍රකාශ කරයි.  

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම