දැඩි ලෙස උත්සන්න වී ඇති ලෙබනන-ඊශ්‍රායල තත්ත්වය වහා ලිහිල් කිරීම සඳහා පියවර ගන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කරයි.
සිය ප්‍රකාශකයා මගින් ඊයේ (23) නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.ලෙබනන-ඊශ්‍රායල දේශසීමා ප්‍රදේශයේ “නිල් රේඛා” ආශ්‍රිත ප්‍රදේශයේ නොසන්සුන්තා උග්‍ර වීම නිසා විශාල පිරිසක් මිය යාම හා තුවාල ලැබීම හේතුවෙන් තමා දැඩි කම්පාවට පත්වූ බව ද António Guterres මහතා පැවසීය. එම තත්ත්වය වහාම ලිහිල් කර, රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් මගින් සාමාන්‍ය ජනතාව හා සිවිල් යටිතල පහසුකම් සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ලෙස ඔහු අදාළ පාර්ශ්වයන්ගෙන් යළි ඉල්ලා සිටී.
ඊශ්‍රායල ජාතිකාරක්ෂක හමුදා ප්‍රකාශක Daniel Hagari ඊයේ (23) පැවසුවේ ඉකුත් පැය 24 ක කාලය තුළ “ලෙබනන හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක” වෙත මහා පරිමාණ ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි. එහිදී අදාළ ඉලක්ක 1300 කට පහර දුන් බව ද ඔහු පැවසීය.
මේ අතර, ලෙබනන මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ඊශ්‍රායල හමුදා රටේ විවිධ ප්‍රදේශවලට එල්ල කළ අඛණ්ඩ ගුවන් ප්‍රහාරවලින් 492 දෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් 1645 ක පිරිසකට තුවාල සිදුව ඇති බවයි.