චීන - මාලදිවයින් සබඳතා නව මට්ටමක් කරා රැගෙන යාමට නිසි පියවර ගන්නා බව චීනය කියාසිටී. චීන විදේශ අමාත්‍ය වං යී මහතා මේ බව පැවසුවේ, ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර දී ඊයේ(23) මාලදිවයින් ජනාධිපති Mohamed Muizzu මහතා හමු වූ අවස්ථාවේ යි.
එකිනෙකාට සහාය වෙමින්, අන්‍යෝන්‍ය ජයග්‍රාහී ප්‍රතිඵල උදෙසා වෙහෙසෙන දෙරට, විශාල හා කුඩා රටවල් අතර සබඳතා පිළිබඳ ආදර්ශයක් ලොවට සපයා ඇති අතර, එය ඉදිරියට පවත්වා ගැනීම චීනයේ අපේක්ෂාව යි. පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය තහවුරු කරමින්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ ප්රයත්නයේ ඉදිරියෙන්ම සිටින මාලදිවයින සමග එක්ව ඒ සඳහා ක්‍රියා කරන බව ද වං යී මහතා පැවසීය.
තම රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීමට මාලදිවයින දරන උත්සාහයට චීනය සැමවිටම සහාය පළකරයි. එසේම, රටේ සැබෑ තත්ත්වයන්ට අනුකූල සංවර්ධන මාවතක් ගවේෂණය කිරීම සඳහා ද චීනයේ සහයෝගය හිමිවන බව වං යී මහතා ප්‍රකාශ කළේය.
මාලදිවයින් ජනාධිපති Mohamed Muizzu මහතා එහිදී කියාසිටියේ තම රට එකම චීනය ප්‍රතිපත්තියට අනුගතව ක්‍රියා කරන බවයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා යෝජනා කළ ජාත්‍යන්තර සහයෝගිතා මුලපිරීම් මාලාවට උපරිම දායකත්වය ලබා දෙන බව ද හෙතෙම පැවසීය. එසේම, මාලදිවයිනේ ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් චීනය දක්වන පරාර්ථකාමී සහාය උදෙසා තම රජයේ හා ජනතාවගේ හෘදයංගම කෘතවේදීත්වය පළ කරන බව ද Muizzu ජනාධිපතිවරයා කියාසිටියේය.