බරපතල මානුෂීය අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා, ලෙබනනය සහ ඊශ්‍රායලය අතර දේශසීමාවේ "නිල් රේඛාව" දෙපස වහාම සටන් විරාමයක් ක්‍රියාවට නංවන්නැයි යුරෝපා සංගමය ඉල්ලා සිටී.
එම සංගමයේ විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිත Josep Borrell Fontelles මහතා ඊයේ (22) මේ බව ප්‍රකාශ කළේය. ලෙබනනයේ තත්ත්වය උත්සන්න වීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය අතිශය කනස්සල්ලට පත්ව සිටින බව ද ඔහු කියාසිටියේය. ලෙබනන සහ ඊශ්‍රායල දේශසීමා ආශ්‍රිතව වෙසෙන සිවිල් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. රාජ්‍යතාන්ත්‍රික ප්රයත්න ඔස්සේ යුද්ධය සම්පූර්ණයෙන් නතර කළ යුතු බව ද Josep Borrell Fontelles මහතා පෙන්වා දුන්නේය.
මේ අතර බ්‍රිතාන්‍ය විදේශ ලේකම් David Lammy මහතා ඊයේ (22) කියාසිටියේ, ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් අතර නොසන්සුන්තා තීව්රවීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව යි. ඊශ්‍රායල සහ ලෙබනන සිවිල් වැසියන්ට තම රටවල සාමකාමීව සහ සුරක්ෂිතව ජීවත් වීම සඳහා දෙපාර්ශ්වයම කඩිනම් සටන් විරාමයක් අරඹා දේශපාලන විසඳුමකට එළඹිය යුතු බව ද ඔහු අවධාරණය කළේ ය.