මෙරට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට රටවල් රැසකින් සුබ පැතුම් පළ කොට තිබේ.
චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියන් බවත් වසර 67 කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට සෑම විටම එකිනෙකා අවබෝධ කර ගනිමින් සහයෝගය ලබා දෙමින්, මිත්‍රශීලී සහජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවය පවත්වා ගනිමින් සිටින බවත් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් කියා සිටී. සදාකාලීන මිත්‍රත්වයකින් සමන්විත චීනය සහ ශ්‍රී ලංකාව අතර ස්ථාවර සහ දිගුකාලීන උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කරමින් දෙරට සඳහා වැඩි ප්රතිලාභ ඇති කිරීමට අඛණ්ඩව කටයුතු කරන බව ද ෂී ජින් පිං මහතා එම පණිවිඩයේ සඳහන් කර ඇත.
මේ අතර මාලදිවයින, පාකිස්ථානය, ඉන්දියාව, ජපානය, ඇමරිකාව ඇතුළු රටවල නායකයින් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ද අභිනව ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුභ පැතුම් පළ කර තිබේ.