චීනය සිය සංවර්ධන අභිප්‍රේරණ සාක්ෂාත් කර ගැනීමේ දී තම අනන්‍ය ප්‍රතිසංස්කරණ සහ නවීකරණය කෙරෙහි දැඩි විශ්වාසයෙන්
2024-09-19 11:22:44
Share with:

දශක කිහිපයකට පෙර බටහිර ප්‍රධාන කර ගත් ආර්ථික සංවර්ධනයේ ආධිපත්‍ය මේ වන විට ආසියානු කලාපය වෙත විතැන් වෙමින් තිබේ. විශේෂයෙන්ම චීනය සිය ආර්ථික ශක්‍යතාව තුළින් ගෝලීය වෙළඳපොල සහ මානව සමාජය වෙත ධනාත්මක බලපෑමක් එල්ල කර ඇතැයි ශ්‍රී ලංකා ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ විදුහල්පති ආචාර්ය ධනංජය නානායක්කාර මහතා පැවසීය. එය සිය රටට අනන්‍ය වූ ප්‍රතිපත්තීන් මත ගොඩනැගෙමින් නවීකරණය තුළින් ලබා ගත් ජයග්‍රහණයකි.

චීනය සෙසු රටවල් සමග ද තම සංවර්ධනයේ ප්‍රතිලාභ බෙදා ගනිමින් සිටී. ගෝලීය තරගකාරීත්වය පසෙකලා සාම්ප්‍රදායික මිත්‍රත්වය අර්ථ ගැන්වීමේ අපූරු ආදර්ශය චීන අප්‍රිකා සහයෝගතා සංසදයේ බෙයිජිං සමුළුවෙන් පසුගිය දා ඉදිරිපත් කෙරිණ. අප්‍රිකානු රටවල් 50කට අධික  නියෝජිතයින් පිරිසක් බෙයිජිං සමුළුවට එක් වෙමින් අන්‍යෝන්‍ය විශ්වාසයේ ප්‍රතිමූර්තිය සාක්ෂාත් කිරීමට දායක වූහ. චීනයේ සිය ආර්ථික වර්ධනය සෙසු රටවල් සමග බෙදා හදා ගැනීමේ ප්‍රයත්නය මේ තුළින් තවදුරටත් තහවුරු වී ඇත.

ලෝක වෙළඳ සංවිධානයේ පුරෝකථනය වන්නේ වර්ධනය වන භූ දේශපාලන ආතතීන්, විවිධ කලාපීය ගැටුම්, දියුණු ආර්ථිකයන්හි මූල්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීම සහ අපනයන ඇණවුම් දුර්වල වීම හේතුවෙන් ගෝලීය වෙළඳාමේ ඉදිරි දැක්ම ඉතා අවිනිශ්චිත විය හැකි බවයි. එවන් පසුබිමක දියුණු රටවල කාර්යභාරය විය යුත්තේ තම සංවර්ධනයේ ප්‍රතිලාභ සෙසු කලාපීය රටවල් සමග බෙදා ගැනීමයි. චීනය එවන් පසුබිමක පවා දකුණු අප්‍රිකානු රටවල ජනතාව වෙත ලබා දිය හැකි සියලු සහනාධාර සමග ඔවුන්ට අනන්‍ය ලෙස නැඟී සිටීමට සහයෝගතාව පුළුල් කර ඇත. මෙය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලෙන් ආසියානු කලාපය ඇතුළු සෙසු රටවලට ලබා දුන් දායකත්වයට නොදෙවෙනි සහයෝගතාවයක් බව ද ආචාර්ය ධනංජය නානායක්කාර මහතා පැවසීය.

මෙම සංවර්ධනය අත් කර ගැනීමේ දී චීනය උපාය මාර්ගික කරුණු රැසක් අනුගමනය කර ඇත. එරට ග්‍රාමීය ව්‍යවසායන් සහ පෞද්ගලික ව්‍යාපාර ගොඩනැගීම මෙන්ම විදේශ වෙළඳාම සහ ආයෝජන ලිහිල් කිරීම ද ඒ අතර වේ. මිල තීරණය කිරීමේ දී රාජ්‍ය පාලනය ලිහිල් කිරීමත් කාර්මික නිෂ්පාදනය සහ එහි ශ්‍රම බලකායේ සංවර්ධනය සඳහා ආයෝජනයන් දිරිමත් කිරීමත් වැනි කරුණු එහි දී හඳුනාගත හැකිය. වර්තමාන චීන නායකත්වය යටතේ ආර්ථික, දේශපාලන, සංස්කෘතික, සමාජීය සහ පාරිසරික යන පස් වැදෑරුම් ප්‍රතිපත්තීන් නවීකරණ ඉලක්ක සපුරා ගැනීම උදෙසා ක්‍රියාත්මක කරමින් සිටී. වෙළඳ හවුල් කරුවන් නොසිටි, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොතිබූ යුගයක සිට වර්තමානය වන විට ලෝකයේම නිෂ්පාදන සැපයුම් ජාලය බවට පත් වීමට චීනයට හැකි වූයේ නිසි අවස්ථාවේ දී නවීකරණ හා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමෙන් බව ද ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ විදුහල්පති ආචාර්ය ධනංජය නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම