චීන හොංකොං විශේෂ පරිපාලන කලාපය පිළිබඳ ‘බ්‍රිතාන්‍ය ඊනියා වාර්තාවට’ චීනයේ දැඩි විරෝධය
2024-09-14 11:34:43
Share with:

චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ කටයුතු පිළිබඳ වගකීම් විරහිත අදහස් ඇතුළත් ‘බ්‍රිතාන්‍ය ඊනියා වාර්තාවට’තරයේ විරෝධය පළ කරන බව චීනය පවසයි.  චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක දී මේ බව කියාසිටියාය.

බ්‍රිතාන්‍ය රජය,  ‘හොංකොං - 2024 ජනවාරි- ජූනි හයමාසික වාර්තාව’ නමින් ඊනියා ලේඛනයක් ඉකුත් 12 වැනිදා නිකුත් කළේය. මේ පිළිබඳව නැගුණු පැනයකට පිළිතුරු දෙමින් මාඕ නිං මහත්මිය පැවසුවේ, හොංකොං විශේෂ පරිපාලන කලාපය චීනයට යළි එක්වීමෙන් පසු එහි කටයුතු සාර්ථක වී ඇති බවයි. ‘එක් රටක්, ක්‍රම දෙකක්’ ප්‍රතිපත්තිය එහිදී  පුළුල් පිළිගැනීමට ලක්ව  ඇති බව ද ඇය කියාසිටියාය.

ජාතික ආරක්ෂක නීතිය, ඊට අදාළ ආඥාපනත මෙන්ම විධිමත් මැතිවරණ ක්‍රමයේ සාර්ථකත්වය හේතුවෙන් හොංකොං විශේෂ පරිපාලන කලාපය නව අදියරකට පිවිස ඇත. එහි ආරක්‍ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා නිදහස  සහ අයිතිවාසිකම් ද මැනැවින් සුරක්ෂිත වී තිබේ. එසේම, එම කලාපය සංවර්ධනය පිළිබඳ සරු අපේක්ෂාවලින් පොහොසත් බව ද මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළාය.

හොංකොං විශේෂ පරිපාලන කලාපයේ යාන්ත්‍රණය යනු සම්පූර්ණයෙන්ම  චීනයේ අභ්‍යන්තර කටයුත්තකි. එම කලාපය යළි චීනයට එක් ව මේ වනවිට වසර 27 ක් ගත වී තිබේ. බ්‍රිතාන්‍යය ඒ බව පිළිගත යුතු බවත්, එම කලාපයේ කටයුතුවලට අනිසි බලපෑම් කිරීම නතර කළ යුතු බවත් මාඕ නිං මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම