දකුණු චීන මුහුදේ ගැටළු ඇති කරන ඕනෑම පාර්ශ්වයකට එරෙහිව දැඩි පියවර ගන්නා බවට චීනයෙන් ප්‍රකාශයක්
2024-09-14 19:11:36
Share with:

දකුණු චීන මුහුදේ ගැටළු ඇති කිරීම‍ට උත්සහා කරන ඕනෑම පාර්ශ්වයකට එරෙහිව දැඩි පියවර ගන්නා බව චීනය පවසයි. අද‍(14) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක Wu Qian මහතා මේ බව පැවසීය.

පසුගිය දා පිලිපීනයේ ජාතික සමුද්‍රීය කවුන්සිලයේ ප්‍රකාශකයා කියාසිටියේ පිලිපීන පාර්ශ්වය Xianbin Jiao ගල්පර ප්‍රදේශයෙන් ඉවත් නොවන බවත්, මුර සංචාර සහ සැපයුම් මෙහෙයුම් ද අඛණ්ඩව සිදු කරන බවත් ය. එමෙන්ම දකුණු චීන මුහුදු කලාපයේ කටයුතුවලදී ඇමරිකාව පිලිපීනයට සහාය වන බවට ඇමරිකා ආරක්ෂක ලේකම් Lloyd Austin  සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කර ඇත.

ඊට පිළිතුරු දෙමින් Wu Qian මහතා කියාසිටියේ Xianbin Jiao ඇතුළු Nansha දූපත් සමූහය යනු චීනය සතු භූමියක් වන බවත්, චීනය එම ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් නීත්‍යනුකූලව අඛණ්ඩ මෙහෙයුම් සිදු කරනු ඇති බවත් ය. එමෙන්ම ඇමරිකාව දකුණු චීන මුහුදේ ප්‍රශ්නයට කිසිදු අදාළත්වයක් නොමැති පාර්ශ්වයක් වන අතර ද්විපාර්ශ්වික ගිවිසුම් මුවාවෙන් චීනයේ භෞමික ස්වෛරීත්වයට මෙන්ම සමුද්‍රීය අයිතිවාසිකම් හානි කරමින් තත්ත්වය උග්‍ර කිරීමට උත්සහා ගනිමින් සිටින බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය. ‍

මේ වන වි‍ට දකුණු චීන මුහුදේ තත්ත්වය උත්සන්න වීමට හේතු වී ඇත්තේ පිලිපීනයේ ප්‍රකෝපකාරී හැසිරීම් ය. එහෙයින් චීනයේ  ස්වෛරීත්වය සහ සමුද්‍රීය අයිතිවාසිකම් උල්ලංඝණය කරන ඕනෑම පාර්ශ්වයකට එරෙහිව දැඩි පියවර ගන්නා බව චීනය වැඩිදුරටත් අවධාරණය කර සිටී.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම