චීනය සිය මැද පෙරදිග රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ සෞදි අරාබිය ප්‍රමුඛ කොට සලකන බව චීන අගමැති කියයි
2024-09-12 10:10:27
Share with:

චීනය සිය සමස්ත රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය තුළ විශේෂයෙන් මැද පෙරදිග රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ සෞදි අරාබිය ප්‍රමුඛ කොට සලකන බව චීන අග්‍රාමාත්‍ය ලී චියන්ග් මහතා පවසයි. සෞදියේ ඔටුන්න හිමි කුමරු සහ අග්‍රාමාත්‍ය මොහොමඩ් බින් සල්මාන් අල් සවුද් මහතා සමග ඊයේ(11) පැවති චීන සෞදි අරාබි උසස් පෙලේ ඒකාබද්ධ කමිටුවේ සිව්වෙනි රැස්වීමේ සම සභාපතිත්වය දරමින් හෙතෙම මේ බව පැවසීය.

එම හමුවේදී චීන අගමැතිවරයා ප්‍රථමයෙන්ම චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් සෞදි රජු සල්මාන් බින් අබ්දුල්සිස් අල් සවුද් සහ ඔටුන්න හිමි කුමරු වෙත පිරිනැමුවේය. දෙරටේ නායකයන්ගේ උපායමාර්ගික මාර්ගෝපදේශ යටතේ චීනය හා සෞදි ආරාබිය අන්‍යෝන්‍ය ගරුත්වය, විශ්වාසය හා ප්‍රතිලාභීත්වය පවත්වා ගෙන ගොස් ඇතැයි හෙතෙම කීය. අන්‍යෝන්‍ය හැදැරීම හා අවබෝධය පවත්වා ගෙන යාමට ද හැකිව තිබේ. ද්වීපාර්ශ්වික සබඳතා පරිපූර්ණ, වේගවත් හා ගැඹුරු මට්ටමකට පත්වෙමින් විවිධ ක්ෂේත්‍රවල ඵලදායී ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිව ඇතැයි ද චීන අගමැතිවරයා කීය. දෙපාර්ශ්වය ද්වීපාර්ශ්වික වෙළඳාම, ඛනිජ තෙල් හා ගෑස් වැනි සාම්ප්‍රදායික ක්ෂේත්‍ර,‍ යටිතල පහසුකම් මෙන්ම නව බල ශක්ති, තොරතුරු හා සංනිවේදන වැනි අංශවල සහයෝගතාවන් තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කම ද හෙතෙම එහිදී පෙන්වා දුන්නේය. 2025 චීන ආරබි සංස්කෘතික වසර සාර්ථකව සංවිධාන කළ යුතු බවද ‍චීන අගමැතිවරයා සඳහන් කළේය. ජාත්‍යන්තර හා කලාපීය කටයුතු වලදී සෞදි අරාබියට සිය කාර්යභාරයන් ඉටු කිරීමට චීනය සහාය වන බවද හෙතෙම කීය.

එහිදී අදහස් දැක්වූ ‍ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් අල් සවුද් මහතා පැවසුවේ සෞදි අරාබිය හා චීනය මිත්‍ර හුවමාරු සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් ඇති රටවල් දෙකක් බවයි. සල්මාන් රජුගේ හා ෂී ජනාධිපතිවරයා උපායමාර්ගික උපදේශන යටතේ දෙරට සබඳතාවන්හී උසස් මට්ටමේ සංවර්ධනයක් පවත්වා ගැනීමට හැකිව ඇති බව ද හෙතෙම කීය. පලස්තීන ප්‍රශ්ණය සම්බන්ධ චීනයේ ස්ථාවරය සෞදි අරාබියේ ඉහළ ඇගැයීමට ලක්වන බව පැවසූ ඔටුන්න හිමි කුමරු ජාත්‍යන්තර බහුපාර්ශ්වික කටයුතුවල දී චීනය සමග සමීපව කටයුතු කිරීමට සූදානම් බව ද පැවසීය.

මේ අතර චීන අගමැතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයට එක්වීම සඳහා ඊයේ(11) රාත්‍රියේ අබුඩාබි නුවරට ළඟා විය. වසර 40කට පෙර ‍රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට දෙරට සබඳතා ශක්තිමත් ලෙස වර්ධනය වී ඇතැයි චීන අගමැතිවරයා එහි ළඟාවූ අවස්ථාවේදී පැවසීය. චීන හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරුන් අතර පසුගිය මැයි මාසයේ පැවති හමුව දෙරට සබඳතාවන්හී නව නිල ලියවිල්ලක් බව ද ලී චියන්ග් මහතා කීය.

එක්සත් ආරාබි එමීර් රාජ්‍යය චීන අගමැතිවරයාගේ සිව්දින මැදපෙරදිග සංචාරයේ අවසන් නැවතුමයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම