ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කරන බව ජනපති පවසයි
2024-09-08 15:25:01
Share with:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතින් සුරක්ෂිත කිරීමේ රජයේ කැපවීම යළි අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට හමුවේ ඇති වත්මන් අභියෝගවලට මුහුණදීමේදී ආධ්‍යාත්මික මඟපෙන්වීම සහතික කිරීම වෙනුවෙන් සියලු ආගම් අතර අඛණ්ඩ සහයෝගිතාවයක අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (07) පැවති ලංකා අපෝස්තලික නිකායේ පදවි පිරිනැමීමේ සහ උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි.

ශ්‍රී ලංකාවේ සියලු ආගමික ප්‍රජාවන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඩිජිටල් සහ තාක්‍ෂණික යුගයේ තරුණ තරුණියන් මුහුණ දෙන අභියෝග සහ ඒ තුළ ඇති අවස්ථාවන් පිළිබඳව ද පෙන්වා දුන්නේය.

තාරුණ්‍යයේ මෑත කාලීනව සිදු වූ ගැටළු සහගත සිදුවීම් හමුවේ ඒවා විසඳීම සඳහා ආගමික හා ප්‍රජා නායකයින්ගේ අවශ්‍යතාව පැහැදිලි කළ හෙතෙම විශේෂයෙන්ම ඩිජිටල් මාධ්‍ය කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරන තරුණ තරුණියන්ට මනෝවිද්‍යාත්මක මඟපෙන්වීම ලබාදීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කර ඇත.

දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පැමිණි ලංකා අපෝස්තලික නිකායේ පූජකවරුන් 800ක පමණ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම