චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගානා ජනරජයේ ජනාධිපති Nana Akufo-Addo මහතා හමු වෙයි. හමුව අද(05) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ. 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට එක්වීම සඳහා Nana Akufo-Addo මහතා බෙයිජිං නුවරට පැමිණ සිටී. චීන-ගානා සබඳතාව උපායමාර්ගික හවුල්කාරීත්වය දක්වා ඉහළ නංවන බවට නායක දෙපළ එහිදී ප්‍රකාශයට පත් කළහ.
දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කර ගතවූ වසර 64ක් තුළ, ජාත්‍යන්තර තත්ත්වය කොපමණ වෙනස් වුවද දෙරට මිත්‍රත්වය නොසැලී පවතින බව ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියේය. ගානා ජනරජය සමග එක්ව උපායමාර්ගික වශයෙන් සම්බන්ධතා පවත්වමින් ආර්ථික සංවර්ධනය, ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා චීනය තමන්ගේ ශක්‍යතා පරිදි අඛණ්ඩ ව එරටට උදව් කරනු ඇත. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, බලශක්ති හා පතල් කර්මාන්තය, යටිතල පහසුකම් ඇතුළු ක්ෂේත්‍ර සහයෝගිතා පුළුල් කිරීම චීනයේ අපේක්ෂාව බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළේය.
මෙවර චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට එක්වීමට ලැබීම පිළිබඳව Nana Akufo-Addo මහතා සිය ප්‍රසාදය පළ කළේය. සමුළුවේ සාර්ථකත්වයට හෙතෙම සුබ පැතුම් පිරිනැමීය. චීනය සමග පවතින මිත්‍ර සබඳතාව ඉහළ ඇගැයීමට ලක් කරන තම රට, එකම චීනය යන මූලධර්මය දැඩි ලෙස අනුගමනය කරයි. දිගු කාලයක් තුළ, තම රට වෙත චීනය විවිධාකාරයෙන් සහාය ලබා දීම වෙනුවෙන් ද හෙතෙම එහිදී කෘතඥතාව පළ කළේය.