චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිම්බාබ්වේ ජනරජයේ ජනාධිපති Emmerson Mnangagwa මහතා සමඟ සාකච්ඡාවක් පවත්වයි. එම සාකච්ඡාව අද(3) පස්වරුවේ බෙයිජිංහි මහජන මහ ශාලාවේදී පැවැත්විණ. 2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට එක් වීමට සහ චීනයේ නිල සංචාරයක් සඳහා Emmerson Mnangagwa මහතා චීනයට පැමිණ සිටී.
ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වයෙන් යුතු චීනය හා සිම්බාබ්වේ, දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය අඛණ්ඩව තහවුරු කොට කැපී පෙනෙන සහයෝගිතා ප්‍රතිඵල අත්පත් කර ගෙන තිබෙන බව ෂී ජින් පිං මහතා එම සාකච්ඡාවේදී පැවසීය. සිම්බාබ්වේ සමඟ එක්ව ආයෝජන, වෙළඳාම, යටිතල පහසුකම් සහ පවිත්‍ර බලශක්ති යනාදී ක්ෂේත්රවල සහයෝගිතා පුළුල් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ඔහු පැවසීය.
සිම්බාබ්වේ ආර්ථික හා සාමාජීය සංවර්ධනයට වටිනා සහයෝගයක් ලබා දීම සම්බන්ධයෙන් චීනයට ස්තූතිය පළ කරන බව Emmerson Mnangagwa මහතා එහිදී පැවසීය. චීනය සමඟ නව බලශක්තිය ඇතුළු විවිධ ක්ෂේත්රවල සයෝගිතා පුළුල් කරමින් දෙරටේ විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වයේ වඩා විශාල වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සමඟ එක්ව කටයුතු කිරීමට සිම්බාබ්වේ සූදානමින් සිටින බව හෙතෙම පවසා ඇත.
එම සාකච්ඡාවට අනතුරුව, දෙරටේ නායක දෙපළ ඉදිරියේ ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම, ගෝලීය සංවර්ධන මුලපිරුම සහ ආර්ථික හා වෙළඳ හුවමාරු හා සහයෝගිතාව යනාදී ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගිතා ලියවිලි රැසකට අත්සන් තබා ඇත.
එසේම දෙපාර්ශ්වය ‘චීන මහජන සමූහාණ්ඩුව සහ සිම්බාබ්වේ ජනරජය අතර විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය ඉහළ නංවා උසස් මට්ටමේ පොදු ඉරණමක් සහිත චීන-සිම්බාබ්වේ ප්‍රජාව ගොඩනැගීම පිළිබඳ ඒකාබද්ධ නිවේදනය’ නිකුත් කළේය.