චීන ජනපති හා අප්‍රිකානු සංගම් කොමිසමේ සභාපති අතර හමුවක්
2024-09-03 14:24:47
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අප්‍රිකානු ලීග කොමිසමේ සභාපති Moussa Faki Mahamat මහතා හමු වෙයි. එම හමුව අද (3) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහ ශාලාවේදී පැවැත්විණ. Moussa Faki Mahamat මහතා  චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ බෙයිජිං නායක සමුළුවට සහභාගි වීම සඳහා  චීනයට පැමිණ සිටී.

මෑත වසරවල චීනය අප්‍රිකානු ලීගය සමග ඇති දේශපාලන විශ්වාසය මෙන් ම ජාත්‍යන්තර හා කලාපීය කටයුතුවලදී දෙපාර්ශ්වය අතර පවතින සම්බන්ධීකරණය අඛණ්ඩව වර්ධනය වී ඇතැයි චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. මෙවර සමුළුව මගින් විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා වඩාත් ඉදිරියට ගෙන යාමටත් පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකා හවුල තව තවත් ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරන බව හෙතෙම පවසයි. චීනයේ ආධාරයෙන් අප්‍රිකානු ලීගය වෙනුවෙන් ඉදි කළ රෝග පාලන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සතුට පළ කළ චීන ජනාධිපතිවරයා, අප්‍රිකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය හා අප්‍රිකානු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් චීනය නොපසුබට කැපවීම් කරන බව ද ප්‍රකාශ කර තිබේ.

එම හමුවේදී Moussa Faki Mahamat මහතා කියා සිටියේ තමන් අප්‍රිකානු ලීගයේ සභාපති ධූරයට පත් වී ගත වූ වසර 8 තුළ අප්‍රිකානු ලීගය හා චීනය අතර සම්බන්ධතා සීග්‍රයෙන් වර්ධනය වී ඇති බවයි. ගෙවුණු අඩසියවසේ චීනය අප්‍රිකාවේ නිදහස, විමුක්තිය හා සංවර්ධනයට නොවෙනස්ව සහාය දක්වා ඇත. චීනයේ මෙම සහාය ඉහළින් අගය කරන බව පවසමින් Moussa Faki Mahamat මහතා ඊට ස්තුතිය පළ කළේ ය. අප්‍රිකාවේ නවීකරණය මෙන් ම ලෝක සාමය හා සංවර්ධනය සඳහා චීනය අඛණ්ඩව මෙහෙයුම් භූමිකාව ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද අප්‍රිකානු ලීග කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20241103ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම