චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට සහභාගී වීම සඳහා චීනයට පැමිණ සිටින නයිජීරියානු ජනාධිපති Bola Ahmed Tinubu මහතා සමග සාකච්ඡා පවත්වයි. එම හමුව අද (3) පස්වරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී සිදු කෙරිණ.
චීන-නයිජීරියානු සබඳතාව පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාවය දක්වා උසස් කරන බවට නායකයන් දෙදෙනා ප්‍රකාශයට පත් කළහ.
චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ රාමුව තුළ පසුගිය වසර කිහිපයේ දී දෙරට එක්ව ආදර්ශමත් සහ උපායමාර්ගික සහයෝගීතා ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කර ඇති බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. චීනය ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන මාදිලියේ නවීකරණය ප්‍රවර්ධනය කරන අතර එමඟින් චීන-නයිජීරියානු සබඳතා වර්ධනය සඳහා වැඩි අවස්ථා උදාවනු ඇති බව ඔහු පැවසීය.
නයිජීරියාවේ අනාගත සංවර්ධනය සඳහා නයිජීරියාව සහ චීනය අතර ආර්ථික සහයෝගීතාව ගැඹුරු කිරීම මෙන්ම පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වයක් වර්ධනය කිරීම ඉතා වැදගත් බව Bola Ahmed Tinubu මහතා පැවසීය. නයිජීරියානු තරුණ තරුණියන්ට වැදගත් පුහුණු අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් චීනයට කෘතඥ වන බව ඔහු පැවසීය. නයිජීරියාව එකම චීනය යන ප්‍රතිපත්තියට තදින්ම ඇලී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සාකච්ඡාවලින් අනතුරුව, “එක් තීරයක් එක් මාවතක්” ඒකාබද්ධව ගොඩනැගීම සඳහා සහයෝගිතා සැලැස්ම, ගෝලීය සංවර්ධන මුලපිරුම ක්‍රියාත්මක කිරීම සහ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගිතා ලේඛන රැසකට අත්සන් තැබීම ද රාජ්‍ය නායක දෙපළ ඉදිරියේ සිදු කෙරිණ.
දෙපාර්ශවය විසින් “පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාවය ස්ථාපිත කිරීම සහ පොදු ඉරණමක් සහිත ඉහළ මට්ටමේ චීන-නයිජීරියා ප්‍රජාවක් ගොඩනැගීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුව සහ නයිජීරියා ෆෙඩරල් ජනරජය අතර ඒකාබද්ධ ප්‍රකාශය” නිකුත් කරන ලදී.