චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදය සඳහා සහභාගී වීමට චීනයට පැමිණ සිටින ජිබුටි ජනාධිපති Ismail Omar Guelleh මහතා හමු වෙයි. ඒ අද(02) බෙයිජිං හි මහජන මහා ශාලාවේදී ය. චීන-ජිබුටි සබඳතා විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය දක්වා උසස් කරන බව නායක දෙපළ එහිදී ප්‍රකාශ කළහ.
මෙම වසරට චීනය සහ ජිබුටි අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමේ 45 වැනි සංවත්සරය යෙදී ඇති බව ෂී ජින්පිං මහතා කියා සිටියේය. එම කාලය තුළ, දෙරටේ ආර්ථික සහයෝගිතා තුළින් සාධනීය ප්‍රතිඵල ලබා ඇති බවත්, දෙරට අතර සම්බන්ධතා දකුණු-දකුණු සහයෝගිතාවයේ ආදර්ශයක් ලෙස හැඳින්විය හැකි බවත් හෙතෙම සඳහන් කළේ ය. ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය ඉහළ සුදුසුකම් සහිත දක්ෂතා වර්ධනය කර ගැනීමේ දී ජිබුටි රාජ්‍යයට සහාය වීමට චීනය කැමැත්තෙන් සිටී. සංවර්ධනය සඳහා වූ අන්තර්-රාජ්‍ය සංවිධානයේ වාරික සභාපතිත්වය දරන රට ලෙස ජිබුටි රාජ්‍යයට සිය වගකීම් ඉටු කිරීමට චීනය සහාය දක්වන බවත්, එමගින් නැගෙනහිර අප්‍රිකාව ඇතුළු සමස්ත අප්‍රිකාවේ සාමය සහ සංවර්ධනය සඳහා නව දායකත්වයක් ලබා දෙනු ඇති බවත් ෂී ජින්පිං මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ජිබුටි හි ආර්ථික සංවර්ධනයට සහ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට අත්‍යවශ්‍ය ආධාර සැපයීම පිළිබඳව Guelleh මහතා චීනයට සිය කෘතඥතාව පළ කළේ ය. වත්මන් ජාත්‍යන්තර සහ කලාපීය තත්ත්වය යටතේ, චීනය සමග එක්ව සන්නිවේදනය සහ සම්බන්ධීකරණය ශක්තිමත් කර කලාපීය ආරක්ෂාව සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ඒකාබද්ධ උත්සාහයන් ගැනීමට සිය රට අපේක්ෂා කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර ඇත.