චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (2) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී මාලි ජනාධිපති Assimi GOÏTA මහතා හමුවිය. හෙතෙම චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුවට සහභාගී වීම සඳහා චීනයට පැමිණ සිටී.
චීන-මාලි සබඳතාව උපායමාර්ගික හවුල්කාරීත්වය දක්වා ඉහළ නංවන බවට නායකයන් දෙදෙනා ප්‍රකාශයට පත් කළහ.
වසර හැටකට පෙර දෙපාර්ශවය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත. පළමු වරට චීනයේ විදේශ ආධාර සඳහා මූලධර්ම අටක් ඇතුළත් කෙරුණ අතර ජාතික ස්වෛරීත්වයට ගරු කිරීම, ස්වාධීන ආර්ථිකය වර්ධනය කිරීම සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන බව එහි දැක්වෙන බව ෂී ජින් පිං මහතා සිහිපත් කළේය. වත්මන් තත්ත්වය යටතේ මාලි රාජ්‍යයේ ආර්ථික සංවර්ධනයට සහ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට සහයෝගය ලබා දීමට චීනය කැමැත්තෙන් සිටී. අප්‍රිකානු ජනතාවගේ අනාගතය ඔවුන් විසින් ම තීරණය කරනු ලැබීමට චීනය සැමවිටම සහාය දක්වන බවත්, මාලි සහ අනෙකුත් අප්‍රිකානු රටවල් සමඟ එක්ව තම ජාතික තත්ත්වයන්ට ගැළපෙන නවීකරණ මාර්ග අනුගමනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.
මාලි රාජ්‍යයේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට නන් අයුරින් ලබා දෙන අගනා සහය පිළිබඳව Assimi GOÏTA මහතා චීනයට ස්තුතිය පුද කළේය. එකම චීනය යන මූලධර්මය මාලි රාජ්‍ය දැඩිව පිළිපදින බව ඔහු පැවසීය. කලාපීය සහ ලෝක සාමය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය දරන උත්සාහයන් සහ දායකත්වය මාලි අගය කරන බවත්, චීනය සමඟ බහුපාර්ශ්වික සහයෝගීතාවයක් ඇති කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.