අනාගතවාදී නවයුගයකට ප්‍රවේශ වීමේ දී අතීත කලා සංස්කෘතික උරුමය නවීන තාක්ෂණයෙන් බලගැන්වීමේ කලාව චීනයෙන් උගත යුතු බව ප්‍රවීණ නර්තනවේදිනි නෘත්‍ය ශාස්ත්‍රපති අනුෂ්කා ඒකනායක මහත්මිය කියාසිටී. චීනයේ නවතම ප්‍රතිසංස්කරණ වැඩසටහන්වල දීත් තම රට සතු විශිෂ්ට කලා ශිල්ප අනාගතය කරා රැගෙන යාමට චීනය ලබා දී ඇති ප්‍රමුඛතාව අතිශය ප්‍රශංසනීය බව ඇය පෙන්වාදෙයි.
වර්තමානයේ චීනය තම සංවර්ධන චාරිකාවේ ඉතා වැදගත් ප්‍රතිසංස්කරණ අදියරකට අවතීර්ණ වී සිටී. එහිදී චීන අනන්‍යතා සහිත නවීකරණය සහතික කරමින් නූතන තාක්ෂණයෙන් සන්නද්ධ නවීන චීනයක් ගොඩනැගීම සහ චීන ජාතියේ මහා පුනර්ජීවනය සාක්ෂාත් කිරීම චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ පුළුල් මෙන්ම දැවැන්ත අරමුණයි. මේ ප්‍රතිසංස්කරණ වෑයමේ දී රටේ සමස්ත ක්‍රමවේදය ම නවීකරණය කිරීමට ඔවුහු පියවර ගනිමින් සිටිති. සාමාන්‍යයෙන් නවීකරණ ප්‍රයත්නවල දී මුලින්ම සිදුවන්නේ නූතනත්වය වැළඳ ගනිමින් අතීත සම්ප්‍රදායන් බැහැර කිරීමයි. මේ වරද චීනය අතින් කිසිවිටෙක සිදුනොවන්නේ චීනය සිය අනන්‍යතා මත රැඳීසිටීම කිසිවිටෙක අත් නොහරින නිසා බව ද ඒකනායක මහත්මිය පවසයි.
තම රට සතු මහඟු කලාවන්ගේ පැවැත්ම උදෙසා චීනය ක්‍රියාවට නංවා ඇති වැඩසටහන් විමසා බැලීම සංස්කෘතික හා පුරාවිද්‍යා සම්පත් බහුල ශ්‍රී ලංකාව වැනි රටකට ද අතිශය වැදගත් ය. වර්තමානයේ චීනයේ ඇති කෞතුකාගාරවල පවතින තාක්ෂණික පරිවර්තන විස්මිත ය. නිදසුනක් ලෙස ඔබ එහිදී තවදුරටත් දකින්නේ වීදුරු අල්මාරිවල තබා ඇති පුරාවස්තු පමණක් නොවේ. නවීන තාක්ෂණික ක්‍රමවේද යටතේ විවිධ පුරාවිද්‍යා පරිශ්‍රවල කැණීම් පවා නැරඹීමට ඔබට අවස්ථාව හිමි වේ. ලොව ප්‍රකට මොගාඕ ලෙන්වල ඇති පෞරාණික බිතුසිතුවම් ඒවායේ සැබෑ ස්වරූපයෙන් ම ඩිජිටල් තාක්ෂණය තුළින් ඔබට නැරඹිය හැකිය. එසේම, බෙයිජිං ඔපෙරාව වැනි අද්විතීය සංස්කෘතික උරුමයක පැවැත්ම සඳහා ද නවීකරණය ඉතා ප්රවේශමින් භාවිත කිරීමට චීනය සමත් වී ඇත. Virtual Reality වැනි තාක්ෂණයන් යොදාගනිමින් ඒවායේ පසුතල විශිෂ්ට ආකර්ෂණීයත්වයකින් යුතුව ඉදිරිපත් කිරීමට චීන නිර්මාණ අධ්යක්ෂවරුන් පියවර ගෙන තිබේ. අතීත කලාවේ ජීවගුණයට කිසිදු හානියක් සිදුනොවන සේ එම නවීකරණ සිදුකෙරෙන ආකාරය ද ඉතා ප්රශස්ත ය.
ප්‍රතිසංස්කරණවලින් තොර රටකට සාර්ථක ඉදිරි ගමනක් නැත. එහෙත් එම ක්‍රමවේද යොදා ගත යුත්තේ රටේ අනන්‍ය වටිනාකම් එලෙසම රැකගනිමිනි. මේ සත්‍යය මනාව පසක් කොට සිටින චීනය අභිමානවත් සංවර්ධන ගමනක නිරතව සිටින බව ද ප්‍රවීණ නර්තනවේදිනි නෘත්‍ය ශාස්ත්‍රපති අනුෂ්කා ඒකනායක මහත්මිය පෙන්වාදෙයි.