වං යී මහතා ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක සමග උපායමාර්ගික අදහස් හුවමාරුව පවත්වයි
2024-08-28 20:32:16
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, මධ්‍යම විදේශ කටයුතු කමිටු කාර්යාල අධ්‍යක්ෂ වං යී මහතා, ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක Jake Sullivan මහතා සමග උපායමාර්ගික අදහස් හුවමාරුව සිදු කර ඇත. 

අගෝස්තු 27, 28 දෙදින බෙයිජිංහිදී පැවති එම සාකච්ඡා අවංක, ප්‍රායෝගික හා සංවර්ධනාත්මක ලෙස පවත්වා තිබේ.

චීන-ඇමරිකා සම්බන්ධතාවයේ නිවැරදි වර්ධන දිශානතිය පවත්වා ගෙන යාමේදී දෙරට නායකයන්ගේ මෙහෙයවීම අතිශයින් වැදගත් බව වං යී මහතා එහිදී පෙන්වා දී තිබේ. එහෙයින් අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී යහපැවැත්ම, සහයෝගතාවෙන් පොදු ජයග්‍රහණ දිනා ගැනීමේ මූලධර්මයට අනුකූලව නායකයන්ගේ පොදු එකඟතා ක්‍රියාවට නංවමින් ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ ස්ථාවර, විධිමත් හා අඛණ්ඩ වර්ධනය දිරිගැන්විය යුතු බව ද ඔහු විග්‍රහ කළේය.

චීනය හා ඇමරිකාව අතර ගැටුම් හා එදිරිවාදිකම් පිටුදැකීමේදී ‘ඒකාබද්ධ නිවේදන ත්‍රිත්වය’ අනුගමනය කිරීම අතිශය වැදගත් වේ. 

එසේම, එම සම්බන්ධතාවය ස්ථාවරව ඉදිරියට රැගෙන යාමට, ජනමත පදනම ද අත්‍යවශ්‍ය ය. 

දෙරට අතර සාමකාමී යහපැවැත්මට නම්, නිවැරදි අවබෝධය සහතික කළ යුතුය. එසේම, ඇමරිකාව තමා බලවත් වූ ආකාරය මෙන් චීනයේ සංවර්ධන ක්‍රියාමාර්ගය පරිකල්පනය කිරීම නුසුදුසු වේ. බලවත් වූ වහාම අධිපතිවාදීව ක්‍රියා කිරීමේ ඇමරිකානු පිළිවෙත චීනය යොදා නොගන්නා බව ද  වං යී මහතා ප්‍රකාශ කළේය.

තායිවාන බෙදුම්වාදීන්ට අනුබල නොදීම පිළිබඳ සිය පොරොන්දු වචනයට සීමා නොකොට, ක්‍රියාත්මක කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. එසේම ඇමරිකාව තායිවාන ප්‍රදේශයට අවිආයුධ සැපයීම නතර කර චීනයේ සාමකාමී එක්සත්භාවයට සහයෝගය ලබා දිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

ආර්ථික, වෙළඳ සහ විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි චීනය මර්දනය කරමින් චීනයේ සාධාරණ අයිතීන් විනාශ කිරීම ද ඇමරිකාව නතර  කළ යුතුය.

 ද්විපාර්ශ්වික ගිවිසුම් හේතු කොට ගෙන චීනයේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවට හානි කිරීමට ඇමරිකාව උත්සාහ නොදැරිය යුතුය. එසේම චීනයේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට පිලිපීනයට සහයෝගය නොදිය යුතු බව ද වං යී මහතා අවධාරණය කර ඇත.

ඇමරිකාවට චීන‍ය සමග සම්බන්ධතාවලින් බැහැර වීමේ වුවමනාවක් නොමැති බව ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක Jake Sullivan මහතා එහිදී පැවසීය. එකම චීනය ප්‍රතිපත්තිය අනුගමනය කරන ඇමරිකාව තායිවාන ප්‍රදේශයේ ස්වාධීනත්වයට සහයෝගය නොදක්වයි. ඇමරිකා-චීන සම්බන්ධතාව තිරසර අයුරින් වර්ධනය කිරීමේ ක්‍රමයක් ගවේෂණය කිරීම, ඇමරිකාවේ ප්‍රතිපත්තිමය අරමුණකි. චීනය සමග උපායමාර්ගික අදහස් හුවමාරු පවත්වා ගනිමින් හා අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කරමින් වැරදි ‍තීරණවලින් වැළකී සිටීමට තම රට උත්සාහ කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

යුක්‍රේන අර්බුදය, මැදපෙරදිග හා කොරියානු අර්ධද්වීපයේ තත්ත්වය සම්බන්ධයෙන් ද එහිදී දෙපාර්ශ්වයේ අදහස් හුවමාරු කර ගැනිණ. නුදුරේදී දෙරට නායකයන් එක්වන නව වටයේ සංවාද පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණ.

  

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම