චීනය ලොව ප්‍රමුඛස්ථානයට ඔසවා තබන කාලීන ප්‍රතිසංස්කරණ
2024-08-27 16:10:47
Share with:

රටක සමස්ත ක්‍රමවේදය ප්‍රතිසංස්කරණයකට ලක්කිරීම පහසු කර්තව්‍යයක් නොවේ. එහෙත් නවීන යුගයක් වෙනුවෙන් වන සාර්ථක ඉදිරි ගමනක දී එහි අත්‍යවශ්‍යතාව චීනය ලොවට පැහැදිලි කරමින් සිටින බව ශ්‍රී ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නීති හා පරිපාලන අධ්‍යක්ෂ, නීතිඥ ජනක රණතුංග මහතා කියාසිටී.  

වර්තමානයේ ලෝකයේ දැඩි අවධානය යළිත් චීනය වෙත යොමු වී තිබේ. ඒ ඔවුන් ප්‍රතිසංස්කරණ පූර්ණ ලෙස ක්‍රියාවට නංවමින් නවීකරණය වේගවත් කිරීමේ පුළුල් යාන්ත්‍රණයක් අරඹා ඇති හෙයිනි. රටේ සියලු වැදගත් අංශ ආවරණය වන ආකාරයේ සැලසුම් සහිතව මෙය ක්‍රියාවට නැංවීමට වත්මන් චීන නායක, ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂය පියවර ගනිමින් සිටී. රටේ නීති සම්පාදන, ජාත්‍යන්තර කටයුතු, ආයෝජන සහ විවිධ මට්ටමේ මානව හුවමාරු පුළුල් කිරීම් දක්වා එම ප්‍රතිසංස්කරණ ව්‍යාප්ත ව පවතී. 

චීන ජනාධිපතිවරයා ලොවට හඳුන්වා දුන් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ උසස් තත්ත්වයේ සංවර්ධනය ද මීට ඇතුළත් ය. ඒ අනුව චීනයේ ප්‍රතිසංස්කරණ තුළින් එරට නවීකරණයට පමණක් නොව ගෝලීය ආර්ථික වර්ධනයට ද ප්‍රශස්ත කාර්යභාරයක් ඉටුකෙරෙනු ඇත. චීනයේ සහයෝගී සංවර්ධන පිළිවෙත මෙහිදී ද ප්‍රකට වෙයි. එසේම චීනය ලොවට රැගෙන ආ ගෝලීය සංවර්ධන, ගෝලීය ආරක්ෂක හා ගෝලීය සංස්කෘතික මුලපිරුම් ත්‍රිත්වය ද සමස්ත ලෝකයේ පැවැත්මට සාධනීය බලපෑමක් එල්ලකරනු ඇතැයි  ජනක රණතුංග මහතා පෙන්වාදෙයි. 

චීනය ක්‍රියාවට නංවා ඇති මානව හුවමාරු වැඩසටහන් යටතේ පසුගියදා වැඩමුළු හා සම්මන්ත්‍රණ මාලාවකට එක් වූ අවස්ථාවේ දී චීනයේ සැබෑ සංවර්ධනය සියැසින් දැකබලා ගැනීමට හැකි වූ බව ද හෙතෙම කියාසිටී. නවීන මාධ්‍යකරණයේ විවිධ පැතිකඩ සහ නූතන තාක්ෂණය සමග මුසු වූ ඩිජිටල් ලෝකයේ නව අත්හදාබැලීම් සම්බන්ධයෙන් චීනය සාක්ෂාත් කර ඇති උසස් තත්ත්වයේ සංවර්ධනය අධ්‍යයනයට ද එහිදී  අවකාශ සැලසිණ. චීනයේ මානව හුවමාරු හා බැඳුණු ආගන්තුක සත්කාරය ද අතිශය ප්‍රශංසනීය මට්ටමක පැවති බව ජනක රණතුංග මහතා කෘතවේදීව සිහිපත් කරයි.

චීනය සියවසක් තිස්සේ පැමිණි ගමන් මග මල් ඇතිරූවක් නොවේ. තම රට මුහුණ පෑ අසීරුතා සියල්ල ඔවුන් ජයගත්තේ අතිදුෂ්කර ව්‍යායාමයන් ඔස්සේ යි. සාර්ථකත්වය අත්පත් කරගත් බව පවසමින් සංවර්ධන ගමන නතර කිරීම චීනයේ පිළිවෙත නොවේ. එහෙයින් ඔවුහු නවයුගයට ගැලපෙන නවීකරණය සාක්ෂාත් කිරීම සඳහා තවදුරටත් ප්‍රතිසංස්කරණයන් හි නියැලෙති. මෙම විශිෂ්ට කැපවීම විසින් චීනය නිසැකව ලොව ප්‍රමුඛස්ථානයට ඔසවා තැබෙනු ඇති බව ශ්‍රී ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නීති හා පරිපාලන අධ්‍යක්ෂ, නීතිඥ ජනක රණතුංග මහතා අවධාරණය කරයි. 

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම