ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඊයේ(25) හිමිදිරි උදෑසන උතුරු ඊශ්‍රායලයට සහ ගෝලාන් කඳුකරයට රොකට් සහ ඩ්‍රෝන යානා විශාල ප්‍රමාණයකින් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් හිස්බුල්ලා නායක Hassan Nasrallah මහතා ඊයේ(25) වීඩියෝ ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කර ඇත.
මීට සති කිහිපයකට පෙර ඊශ්‍රායලය "රතු ඉර" තරණය කර බේරූට් නුවර දකුණු තදාසන්න ප්‍රදේශවලට පහර දීමෙන් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධාන නායකයෙකු වූ Fuad Shukr ඝාතනය විය. එහෙයින් තත්ත්වය මේ අයුරින් උත්සන්න වීමට හේතුව මෙන්ම එහි වගකීම ද ඊශ්‍රායලය සතු බව Nasrallah මහතා ප්‍රකාශ කළේ ය. බේරූට් නුවර දකුණු තදාසන්න ප්‍රදේශවලට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් සිවිල් වැසියන්ට හානි සිදු වී ඇති අතර හිස්බුල්ලා සංවිධානය කිසිවිටක සිවිල් වැසියන් ඉලක්ක කර නොගන්නා බව ද ඔහු අවධාරණය කර ඇත.
එම ප්‍රහාරයෙන් සිදු වූ හානි පිළිබඳ සිය සංවිධානය විමර්ශනය කරමින් සිටින බවත්, තත්ත්වය සතුටුදායක නම් ප්‍රහාර අවසන් වනු ඇති බවත්, එය අසතුටුදායක නම් අඛණ්ඩව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය හිස්බුල්ලා සංවිධානය සතු බවත් Nasrallah මහතා පැවසීය. ලෙබනන් පෙරමුණ මර්දනය කිරීමේ කිසිදු උත්සාහයක් නිෂ්ඵල බවත්, ගාසා තීරයේ සහ පලස්තීන ජනතාව ලෙබනනය කිසිදා අත් නොහරින බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.