චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, එම සභාවේ විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ වං යී මහතාගේ ඇරයුමකට අනුව ඇමරිකානු ජාතිකාරක්ෂක උපදේශක Jake Sullivan මහතා ලබන 27 වනදා සිට 29 වනදා දක්වා චීනයේ සංචාරයක නිරත වනු ඇත. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ උතුරු ඇමරිකා මහද්වීප හා ඕෂනියා කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා අද(25) අදාළ තොරතුරු ඉදිරිපත් කළේය.
Jake Sullivan මහතාගේ චීන සංචාරය, දෙරටේ නායකයන් San Francisco හිදී පැමිණි එකඟතාවන් ක්‍රියාවට නැංවීමේ වැදගත් පියවරක් බව හෙතෙම කීය. San Francisco හමුවෙන් පසු දෙපාර්ශ්වය රාජ්‍යතාන්ත්‍රික, මූල්‍ය, නීති බලාත්මක කිරීම, දේශගුණ විපර්යාසය හා හමුදා යනාදී ක්ෂේත්‍රවල සංවාද පවත්වා ගෙන තිබේ. එහෙත් ඇමරිකාව චීනය සම්බන්ධයෙන් අඛණ්ඩව මර්දනකාරී පියවර අනුගමනය කරන අතර චීනය ඊට දැඩි ප්‍රතිපියවර ගෙන තිබේ. චීන ඇමරිකා සබඳතාව වර්තමානයේ තීරණාත්මක අදියරේ පවතී.
මෙවර සංචාරයේදී වං යී මහතා හා Jake Sullivan මහතා දෙරටේ සබඳතාව, සංවේදී ප්‍රශ්න, ජාත්‍යන්තර හා කලාපීය ප්‍රධාන ප්‍රශ්න පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කර ගනු ඇති බව එම ප්‍රධානියා කියා සිටියේය. චීන තායිවාන ප්‍රශ්නය, සංවර්ධන අයිතිය හා චීන උපායමාර්ගික ආරක්ෂාව යනාදී ප්‍රශ්න සම්බන්ධයෙන් චීනය සිය ස්ථාවරය පැහැදිලි කරමින් දැඩි ඉල්ලුම් ඉදිරිපත් කරනු ඇත.
චීන තායිවාන ප්‍රශ්නය, චීන ඇමරිකා සබඳතාවේ පසු කළ නොහැකි රතු සීමාවකි. එකම චීන ප්‍රතිපත්තිය හා චීන ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුන අනුගමනය කරමින් තායිවාන බෙදුම්වාදීන්ට සහාය ලබා නොදීමේ පොරොන්දුව ඇමරිකාව අනුගමනය කළ යුතු බව එම ප්‍රධානියා අවධාරණය කළේය. ආර්ථික හා වෙළඳ ප්‍රශ්න දේශපාලනීයකරණය කරමින් ආරක්ෂණවාදයට යොමුවීම නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. බලවත් රටවල් තරඟ වැදීම මගින් ඇමරිකාව හා ලෝකය මුහුණ දෙන ප්‍රශ්න විසඳිය නොහැකි බව චීනයේ විශ්වාසයයි.
එමෙන්ම යුක්රේන ප්‍රශ්නය පිළිබඳව එම ප්‍රධානියා පැවසුවේ චීනය සාම සාකච්ඡා පැවැත්වීමට වෑයම් දරමින් දේශපාලන ක්‍රමයෙන් ප්‍රශ්න විසඳීම අනුගමනය කරන බවයි. දකුණු චීන මුහුදු ප්‍රශ්නය පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම පැවසුවේ එම කලාපයේ රටවලට මනා ලෙස එම ප්‍රශ්න විසඳිය හැකි බවට චීනය විශ්වාස කරන බවයි. එහි තත්ත්වය උග්‍ර කෙරෙන ක්‍රියාවන් ගෙන් වැළකී සිටින ලෙස චීනය බාහිර රටවලින් ඉල්ලා සිටී.
මැදපෙරදිග ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දැක්වූ හෙතෙම පැවසුවේ සාමය හා යුක්තිය ප්‍රවර්ධනය කිරීමට වෑයම් දරමින් පලස්තීනයේ ජාතික සාධාරණ අයිතිවාසිකම් යළි හිමිකර දීම ඇතුළු විවිධ පාර්ශ්වයන්ට සිය සාධාරණ අයිතිවාසිකම් රැකගැනීමට චීනය අනුබල දෙන බවයි. ජගත් ප්‍රජාවේ බහුවිධ හඬට සවන් දෙමින් ඇමරිකාව වගකීම් සහගත ස්ථාවරය දරනු ඇතැයි හෙතෙම අපේක්ෂා පළ කළේය.