යුරෝපීය කොමිසම පසුගිය 20වැනිදා චීන විදුලි වාහනවලට සහනාධාර විරෝධී සමීක්ෂණ පිළිබඳ අවසන් තීන්දුවේ මූලික අනාවරණය සිදු කළේය. යුරෝපා සංගමය චීනයේ නිෂ්පාදිත විදුලි වාහන සඳහා, 17% සිට 36.3% දක්වා ප්‍රතිවිරෝධී බද්දක් පැනවීමට ඉන් යෝජනා කර ඇත.
ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයක් යොමු කර ඇති අතර යුරෝපා සංගමයේ සාමාජික රටවල් රැසක්, මෝටර් රථ කර්මාන්ත සංවිධාන හා ව්‍යවසායන්, බුද්ධි මණ්ඩල සහ විද්වතුන් සිය අදහස් ප්‍රකාශ කර ඇත. මෙම සහනාධාර-විරෝධී ක්‍රියාමාර්ග සැබවින්ම "සාධාරණ වෙළඳාම" මුවාවෙන් සිදු කළ ආරක්ෂණවාදයක් බව ඔවුහු පෙන්වා දුන්හ. යුරෝපා සංගමයේ විදුලි වාහන කර්මාන්තයේ දියුණුව ප්‍රවර්ධනය කිරීමේ දී තරඟකාරීත්වයට බිය නොවිය යුතු බව ද ඔවුන් පවසා ඇත.
සැබවින්ම, යුරෝපා සංගමයේ මෙම පියවර ක්‍රියාත්මක කිරීමේ අරමුණ වනුයේ, දේශගුණික විපර්යාසයට මුහුණ දී හරිත පරිවර්තනයක් සාක්ෂාත් කර ගැනීමේ ගෝලීය නව තරගයේ පෙරමුණ ගැනීමට උත්සාහ කිරීමයි.
මෑත වසර තුළ, රටවල් රැසක් ප්‍රකාශ වෝල්ටීයතා නිෂ්පාදන, විදුලි වාහන සහ ලිතියම් බැටරි යන "නව නිෂ්පාදන තුන" ඔවුන්ගේ කාර්මික සංවර්ධන ප්‍රමුඛතා බවට පත් කර ඇත. යුරෝපා සංගමය ද ඉන් එක් නියෝජිතයෙකි. ඇමරිකාවේ "උද්ධමනය අඩු කිරීමේ පනත" දැඩි ලෙස හෙළා දකින යුරෝපා සංගමය, තම සාමාජික රටවල "නව නිෂ්පාදන තුන" සඳහා සහනාධාර වැඩි කරයි. විශේෂයෙන් යුරෝපීය කොමිසම 2019 දී "යුරෝපීය හරිත හා නව ප්‍රතිපත්තිය" නිකුත් කිරීමෙන් පසුව, එය හරිත බලශක්ති පරිවර්තනය කෙරෙහි අවධානය යොමු කිරීමට ආරම්භ කොට එම නව නිෂ්පාදන මෙන්ම නව බලශක්ති කර්මාන්තය සංවර්ධනය කිරීම පූර්ණ වශයෙන් ප්‍රවර්ධනය කළේය. 2020 දී පුරෝපීය කොමිසම "යුරෝපා කර්මාන්තවල නව උපායමාර්ග" නිකුත් කළේය. කර්මාන්ත හරිත පරිවර්තනය සඳහා ආයෝජන හා මූල්‍යකරණ සහාය ලබා දෙන බව එහි පැහැදිලිව දක්වා තිබේ.
මෙම කරුණු විමසා බලන විට පෙනී යන්නේ, "නව නිෂ්පාදන තුන" වැනි නව බලශක්ති කර්මාන්ත සංවර්ධනය වේගවත් කිරීමේ අරමුණ, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධනය යන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පමණක් නොවන බවයි. යුරෝපා සංගම් කර්මාන්තවල ගෝලීය තරඟකාරිත්වය ඉහළ නැංවීමට සහ ලෝකයේ ප්‍රමුඛත්වය අත්පත් කර ගැනීමට ද ඉන් අපේක්ෂා කෙරේ. එහෙයින් එම සංගමය මෙම ක්‍රියාවලියේදී කාර්මික සහනාධාර ප්‍රතිපත්ති විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කොට තිබේ.