බොහෝ රටවලට දුෂ්කරතා ඇතිවන අන්දමින් අත්තනෝතමතිකව පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක සියල්ල ඉවත් කරන ලෙස චීනය අදාළ පාර්ශ්වවලින් ඉල්ලා සිටී.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා ගැටුම් වැළැක්වීම පිළිබඳව ඊයේ (21) ආරක්ෂක මණ්ඩලයේ පැවති විවෘත විවාදයේ දී මේ බව ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින්, නීතිවිරෝධී, ඒකපාර්ශ්වික සම්බාධක අසීමිත ලෙස පැනවීම නිසා පීඩාවට පත් රටවල ආර්ථික හා සමාජයීය දුෂ්කරතා උග්‍ර වී ඇතැයි Fu Cong මහතා පෙන්වා දුන්නේය. එම සියලු ඒකපාර්ශ්වික සම්බාධක ඉක්මණින් ඉවත් කරන ලෙස චීනය අදාළ රටවලින් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය.
ගැටුම් ඵලදායී ලෙස වැළැක්වීම සඳහා හිතකර බාහිර කොන්දේසි අවශ්‍ය වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැටුම් වැළැක්වීමේදී තම කාර්යභාරය මනාව ඉටු කළ යුතු අතර, සම්බාධකවලට ලක් වූ රටවල ආර්ථික වර්ධනය හා තිරසර සංවර්ධනය උදෙසා නිසි ප්‍රායෝගික පියවර ගත යුතු බව ද ඔහු සඳහන් කළේය.
දරිද්‍රතාව අඩු කිරීම සහ සංවර්ධනය, ගැටුම් වැළැක්වීමේ මූලික පියවර විය යුතුය. එසේම, ස්ථාවර ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම සහ රැකියා හා ආදායම් අඛණ්ඩව උත්පාදනය කිරීම රටක දිගුකාලීන සාමය මෙන්ම ස්ථාවරත්වය ළඟා කර ගැනීමේ පදනම වන බව ද Fu Cong මහතා එහිදී අවධාරණය කළේය.