මානුෂීය සහන සේවකයින්ට සහ සමස්ත සිවිල් වැසියන්ට එරෙහි ප්‍රහාර වහාම නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ඉල්ලීමක්
2024-08-20 10:06:59
Share with:

මානුෂීය සහන සපයන සේවකයින් සහ සමස්ත සිවිල් වැසියන්ට එරෙහි ප්‍රහාර වහාම නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා ඉල්ලා සිටී. අගෝස්තු 19 වන දිනට යෙදෙන ලෝක මානුෂීය දිනය වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මේ බව පැවසීය. 

ජනතාව පීඩාවට සහ දුකට පත්ව සිටින ඕනෑම මොහොතක මානුෂීය සහන සපයන සේවකයෝ එය සමනය කිරීමට කැපවීමෙන් කටයුතු කරති. එහෙයින් ලෝක මානුෂීය දිනයේ දී මනුෂ්‍යත්වය වෙනුවෙන් ඔවුන් කළ උදාර සේවයට ආචාර කළ යුතු බව Antonio Guterres මහතා එහිදී සඳහන් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් සිදු කළ මානුෂීය මෙහෙයුම්වලින් පසුගිය වසරේ පමණක් මිලියන 140 කට වැඩි පිරිසකට ජීවිතාරක්ෂක ආධාර ලබා දී ඇත.  එමෙන්ම 2023 වසර මානුෂීය පුද්ගලයින් සඳහා මාරාන්තිකම වසර බවට පත් විය. ගාසා තීරය, සුඩානය සහ තවත් ලොව බොහෝ ස්ථානවල දී මානුෂීය සේවකයින්ට පහර දීම්, ඝාතනය කිරීම් සහ විවිධ පීඩාවලට මුහුණ දීමට සිදු විය. එහෙයින් තවදුරටත් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත නොකර ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය නොකරන ලෙස හෙතෙම ඉල්ලා සිටියේය.

සමස්ත සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට ගැටුම් සඳහා සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට බලපෑම් කරන ලෙසත්, හමුදාවන් සහ සටන් කණ්ඩායම් ආයුධ හුවමාරු කර ගැනීම වහාම නතර කරන ලෙසත් ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීම සහ අපරාධකරුවන්ට යුක්තිය ඉටු කරන දණ්ඩමුක්තිය අවසන් කරන ලෙසත් Antonio Guterres මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

2023 වසරේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිකුත් කළ දත්තවලට අනුව, ඝාතනය කළ මානූෂීය සහන සේවකයින්ගේ සංඛ්‍යාව 2022 දී 118 සිට 2023 දී 261 දක්වා වසර දෙකක් ඇතුළත දෙගුණයකට වඩා වැඩි වී ඇත.  එමෙන්ම මානූෂීය සහන සේවකයින් 78 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති අතර 196 දෙනෙකු තුවාල ලබා ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම