ශ්‍රී ලංකාව වසර 75කට පසුව ආර්ථික වශයෙන් බංකොලොත් වීමෙන් අනතුරුව කාගෙත් අවධානය යොමු වූයේ මෙරට ආර්ථිකය ගොඩනැඟීම සඳහා ආර්ථිකයට හඳුන්වා දිය යුතු ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණයන් සහ ප්‍රතිසංස්කරණයන් මොනවාද යන්නයි. එහි දී ශ්‍රී ලංකාවට අළුතින් සංවර්ධන මොඩලයක් හඳන්නේ නම් චීනය ඒ සඳහා ආදර්ශයට ගත හැකි සුදුසුම රාජ්‍ය බව වයඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පැවසීය.
දැනට සංවර්ධනය වූ සහ වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික ව්‍යුහයන් අතර චීනය ලෝකයේ දෙවෙනි ශක්තිමත්ම රජය මෙන්ම මිලදී ගැනීමේ හැකියාවෙන් 2016 වසරේ සිට ලෝකයේ ශක්තිමත්ම රට ලෙස ඉදිරියෙන්ම සිටී. ඒ අනුව චීනය සමස්ථ ගෝලීය ආර්ථිකයෙන් 19%කට වඩා සැපයුම් කරයි. චීනය සැලසුම් සහගත ආර්ථිකයක් තුළ ක්‍රියා කරමින් 1953 වසරේ සිට 1978 වන තුරු අවුරුදු 26ක් තම ආර්ථික වර්ධන වේගය 6.17% ක් වැනි ඉතාම ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට සමත් වී තිබේ. 1978 සිට 2024 දක්වා චීන ආර්ථික ප්රකෘතියේ ප්‍රගමණය දෙස බලන විට චීනය අධ්‍යයනය කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනයට හෝ ප්‍රතිව්‍යුහගතකරණයට ඉතා වැදගත් වනු ඇත. චීනය සිය රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික ව්‍යාපාර සමග ඉතා තරගකාරී මට්ටමක පවත්වාගෙන යයි. එහි දී ඔවුන් තම කාර්මික ප්‍රතිපත්ති සකස් කර ඇති අතර පස් අවුරුදු සැලසුම් මත තම ආර්ථිකය සංවර්ධනය කරයි. ඒ අනුව ඔවුන් ස්ථිර ආර්ථික වර්ධනයක් මේ වන විට ළඟා කර ගෙන තිබේ. එම නිසා ලංකාව ආර්ථික වශයෙන් ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්නේ නම් ඉගෙන ගැනීමට ඇති හොඳම ආකෘතිය චීන සංවර්ධන ආකෘතිය බව මහාචාර්ය මෙත්සිල පෙරේරා මහතා කියා සිටී.
දෙවන කාරණය නම් චීනයේ වර්තමාන සංවර්ධනය හරහා ශ්‍රී ලංකාවට ලබා ගත හැකි ප්රතිලාභ මොනවා දැයි සොයා බැලිය යුතුය. චීනයේ සේද මාවත ව්‍යාපෘතිය නොහොත් එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතියට විශේෂ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ඔවුන් තමන්ගේ සමස්ථ අතිරේක ඉතිරි කිරීම් ආයෝජනය කොට ලෝකයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශාල උත්සාහයක් දරයි. චීනය සිදු කරන යම් යම් සංවර්ධන කටයුතු අතර වැඩිම ප්රතිලාභ ලබා ගත හැකි රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගත හැකිය. හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය වැනි සංවර්ධන ව්‍යාපෘතීන් තුළින් ලංකාවට විදේශ විනිමය විශාල වශයෙන් ලබා ගත හැකි අතර අපනයන සංවර්ධනය, රැකියා ප්‍රවර්ධනයට හේතුවක් විය හැකිය. එම නිසා ලංකාවේ සමස්ථ ආර්ථික අර්බුදයට 75% ක-80% ක විසඳුමක් මෙම එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල තුළ පමණක් පවතින බවට තමා විශ්වාස කරන බව ඔහු පැවසීය.
චීනයේ බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කළ ආකාරය ඇතුළු බොහෝ දේ ශ්‍රී ලංකාව රජයක් ලෙස අධ්‍යනය කළහොත් විශාල ප්‍රයෝජනයක් ගත හැකිය. චීනය ලංකාවට ඉතා හිතවත් රාජ්‍යකි. ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුම සමග එදා සිට අද දක්වා මෙරට ආර්ථිකය කඩාවැටීමේ දී ලබා දී ඇති දායකත්වය ඉතාම ඉහළය. එම නිසා චීන ආර්ථික මොඩලය, එම ආර්ථික ක්‍රියාවලිය අධ්‍යයනය කර පාඩම් ඉගෙන ගත හැකි නම් ලංකාවේ ආර්ථිකය අනාගත පරම්පරාව වෙනුවෙන් ඉතාම ශක්තිමත් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමට හැකි වනු ඇති බව වයඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා සඳහන් කළේය.