අයහපත් කාලගුණයෙන් දෙදහසකට අධික පිරිසක් පීඩාවට
2024-08-19 17:02:11
Share with:

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය 16 වැනිදා සිට  කළුතර, පුත්තලම, රත්නපුර දිස්ත්‍රික්කවල පවුල් 644 කට අයත් 2354 ක පිරිසක් පීඩාවට පත් ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

තද වැසි, අධික සුළං සහ ගංවතුර හේතුවෙන් එම ජනතාව පීඩාවට පත් ව සිටිති. අර්ධ නිවාස හානි 86 ක් වාර්තා වී ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.

මේ අතර, බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් පවතින වැසි තත්ත්වය අද (19) සහ හෙට (20) දිනවල ද පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කළුතර දිස්ත්‍රික්කයේ පරගොඩ ප්‍රදේශයේ ගංවතුර ආපදා සහන කණ්ඩායමක් ස්ථානගත කිරීමට ඊයේ (18)  නාවික හමුදාව පියවර ගෙන ඇත. ඒ, බුලත්සිංහල ප්‍රදේශයේ පවතින ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහායි.

එසේම, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 27 ක් සඳහා නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීමේ දෙවැනි සහ පළමු අදියරේ අනතුරු ඇඟවීම් ද නිකුත් කරනු ලැබ තිබේ.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම