මියන්මාර නායක Min Aung Hlaing මහතා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා හමුවෙයි. එම හමුව, Naypyidaw අගනුවර දී ඊයේ (14) පැවැත්විණ.
චීනය සමග සම්බන්ධතාව අතිශය වැදගත් කොට සලකන මියන්මාරය එකම චීනය මූලධර්මය අනුගමනය කරන බව, Min Aung Hlaing මහතා එහිදී පැවසීය. චීනයේ විශ්වසනීය, මිතුරු අසල්වැසි රටක් බවට පත්වීම මියන්මාරයේ අපේක්ෂාවයි. උතුරු මියන්මාර ප්‍රදේශයේ සාම සාකච්ඡා ප්‍රවර්ධනය සඳහා ඉටු කළ සංවර්ධනාත්මක මෙහෙවර වෙනුවෙන් හෙතෙම චීනයට සිය ස්තුතිය පිරිනැමීය. අන්තර්ජාලය මගින් ක්‍රියාත්මක සූදු හා විදුලි සන්නිවේදන ඔස්සේ සිදු කරන වංචා ඇතුළු අන්තර්ජාතික අපරාධ මර්දනය සඳහා චීන සහයෝගතා තුළින් පොදු ප්රයත්න දැරීමට මියන්මාරය සූදානමින් සිටී. එසේම, චීනයේ ආරක්ෂාව හා අවශ්‍යතාවන්ට හානිකර කිසිදු ක්‍රියාවකට ඉඩ නොදෙන බව ද මියන්මාර නායකයා අවධාරණය කළේය.
මියන්මාරය සමග පවතින මිත්‍රශීලි ප්‍රතිපත්තිය එරට සමස්ත ජනතාව කෙරෙහි ද ව්‍යාප්ත කරන බව චීන විදේශ අමාත්‍යවරයා එහිදී කියා සිටියේය. චීනය, මියන්මාරයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන අතර එරට දේශපාලන සම්ප්රදාය හා ඔවුන් තෝරා ගත් සංවර්ධන මාර්ගයට ගරු කරන බව ද ඔහු පැවසීය. විවිධ ක්ෂේත්රවල සහයෝගතා පුළුල් කරමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ පොදු සංවර්ධනය හා චීන-මියන්මාර ආර්ථික කොරිඩෝව පිළිබඳ දැවැන්ත ව්‍යාපෘතිවල ඒකාබද්ධ ඉදිකිරීම් කඩිනම් කිරීමට චීනය කැමැත්තෙන් සිටී. එසේම පොදු ඉරණමක් සහිත චීන-මියන්මාර ප්‍රජාව ගොඩනැගීමේ දී වඩාත් ප්‍රායෝගික ප්‍රතිඵල දිනා ගත හැකි යැයි අපේක්ෂා කරන බව ද වං යී මහතා ප්‍රකාශ කර ඇත.
එම සංචාරය තුළදී වං යී මහතා මියන්මාර උපඅගමැති මෙන්ම විදේශ අමාත්‍ය Than Swe මහතා සමග ද සාකච්ඡා පැවැත්වූ අතර, එරට ජාතික සාම හා සංවර්ධන කමිටුවේ හිටපු සභාපති Than Shwe මහතා ද හමු වී තිබේ.