ඇමරිකානු තහනම් උත්තේජක විරෝධී ආයතනය, තහනම් උත්තේජක ගත් සිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලිවලට එක්වීමට අවසර දීම පිළිබඳ වාර්තාවක් සම්බන්ධයෙන් ලෝක තහනම් උත්තේජක විරෝධී ආයතනය ප්‍රතිචාර දක්වා ඇත. එය සිය ආයතනයේ හා ඇමරිකානු තහනම් උත්තේජක විරෝධී ආයතනයේත් රෙගුලාසීන් උල්ලංඝනය කර ඇති බව ලෝක තහනම් උත්තේජක විරෝධී ආයතනය ඊයේ(7) රාත්‍රීයේ නිවේදනයක් කරමින් ප්‍රකාශ කර ඇත.
අදාල වාර්තාවට අනුව වසර 1988 Seoulහි පැවති ඔලිම්පික් ක්‍රීඩාවට පෙර සිදු කෙරුණු පරීක්ෂණ ත්‍රිත්වයෙන්ම, තහනම් උත්තේජක භාවිතය සඳහා ධනාත්මක ප්‍රතිඵල හිමි වූ නමුත් එවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරගවලට එක්වීමට තමාට තවමත් අවසර ලැබී තිබෙන බව ඔලිම්පික් රන් පදක්කම් නවයක් දිනා ගත් ඇමරිකානු ක්‍රීඩක Carl Lewis පිළිගත්තේය. මෙවන් ප්‍රසිද්ධියට පත් කෙරුණු සිද්ධි හැරෙන්නට, තහනම් උත්තේජක-විරෝධී රෙගුලාසීන් බරපතල ලෙස උල්ලංඝනය කළ ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට වසර ගණනක් පුරා තරගාවලි සඳහා එක්වීමට අවසර ලැබීම පිළිබඳ අවස්ථා, අවම තුනක් ලෝක තහනම් උත්තේජක විරෝධී ආයතනය දැන ගෙන තිබෙන බව එම ආයතනයේ නිවේදනය ප්‍රකාශ කරයි.
නිවේදනයේ තවත් විශේෂ අවස්ථාවක් සඳහන් කර ඇත. ඇමරිකාවේ පැවති ඔලිම්පික් සූදානම් තරග හා ජාත්‍යන්තර තරගවලට එක්වූ ක්‍රීඩකයෙක්, තහනම් වූ steroid හා EPO ගත් බව තමාම පිළිගත්තද ඔහුට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්වන තුරුම තරගවලට එක්වීමට අවසර ලැබී තිබේ. එවන් තත්ත්වයන් මීට පෙර ප්‍රසිද්ධ නොකළ අතර ඔවුන්ගේ ලකුණු අවලංගු කිරීමක් ද සිදු කර නොමැත. එසේම ත්‍යාග මුදල් ආපසු අය කර ගැනීමක් ද සිදු ව නැත. ඔවුන් ඉදිරි තරගවලට එක්වීම තහනම් කිරීමට ද පියවර නොගැණින.
ඇමරිකානු තහනම් උත්තේජක විරෝධී ආයතනය සිදු කළ මේ සිය අසාධාරණ පිළිවෙත ලෝක තහනම් උත්තේජක විරෝධී ආයතනය හමුවේ පිළිගත්තේය. එනමුත් ‘ඕනෑම ප්‍රසිද්ධ කිරීමක් හෝ ලකුණු අවලංගු කිරීමක් හෝ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වනු ඇතැයි’ පැවසූ ඇමරිකානු පාර්ශ්වය රෙගුලාසීන් උල්ලංඝනය කිරීම් ප්‍රසිද්ධ නොකරන ලෙස ලෝක තහනම් උත්තේජක විරෝධී ආයතනයෙන් ඉල්ලා තිබේ. එවන් තත්ත්වයක් හමුවේ මීට පෙර ලෝක තහනම් උත්තේජක විරෝධී ආයතනයට වෙනත් විකල්පයක් නොමැතිව ඊට එකඟ වීමට සිදු වූ බව එම නිවේදනයේ දැක්වේ.