Darfur නඩුව විභාග කිරීමේදී සුඩානයේ අධිකරණ ස්වෛරීභාවයට සහ නීත්‍යනුකූල අවශ්‍යතාවලට ගරු කරන ලෙස චීනය ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Dai Bing මහතා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඊයේ(05) පැවති අදාළ සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කළේය. එම නඩුව පිළිබඳ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විමර්ශනය චීනය සමීපව නිරීක්ෂණය කරන බව ද හෙතෙම සඳහන් කර ඇත
මෙම විමර්ශනය රෝම ප්‍රඥප්තිය සහ ආරක්ෂක කවුන්සිලයේ විධිවිධානවලට අනුව මෙහෙයවිය යුතු අතර එය ස්වාධීනව, අපක්ෂපාතීව සහ නීත්‍යනුකූලව ක්‍රියාත්මක කළ යුතු බව ද චීනය අවධාරණය කරයි. ගැටුම් අවසන් කර සාමය ළඟා කර ගැනීම සඳහා එකම මාර්ගය දේශපාලන විසඳුම බවත්, චීනය සෑම විටම ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
Darfur ප්‍රශ්නය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී, සුඩානයේ මෙන්ම සමස්ත කලාපයේ වත්මන් සංකීර්ණත්වය සැලකිල්ලට ගන්නා ලෙසත්, අනවශ්‍ය මැදිහත්වීම් වළක්වා ගන්නා ලෙසත් Dai Bing මහතා එහිදී ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත. එමෙන්ම සුඩානය මුහුණ දෙන දුෂ්කරතා දෙස වැඩි අවධානයක් යොමු කරන ලෙස ද චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී. ජාත්‍යන්තර සහ කලාපීය ගැටලු විසඳීමේ දී අධිකරණය දේශපාලනීකරණයෙන් සහ ද්විත්ව ප්‍රමිතීන්ගෙන් වැළකී, ජාත්‍යන්තර නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බව ද Dai Bing මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.