මෙරටට පැමිණෙන සංචාරකයන්ට වීසා නිකුත් කිරීම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් හෙට (06) තීරණය කිරීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
විද්‍යුත් වීසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය. ඒ අනුව, අගෝස්තු මස 2 වැනිදා රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා නිකුත් කිරීමේ කටයුතු අත්හිටුවන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
අදාළ වෙබ් අඩවිය තාවකාලිකව අත්හිටුවා ඇති අතර වීසා ලබාගැනීමට මුදල් ගෙවීම් සිදුකළ පුද්ගලයන්ට යළි අදාළ මුදල් ලබාදීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව, මෙරටට පැමිණෙන සංචාරකයන්ට මේ වනවිට ගුවන්තොටුපොළේදී නිකුත් කෙරෙන ON ARRIVAL වීසා නිකුත් කිරීම පමණක් සිදුවන බව සඳහන්ය.