තම රටේ සිදුවන‘අන්ත දක්ෂිණාංශික මැරකම්’තරයේ හෙළාදකින බව එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය Keir Starmer මහතා පවසයි. අන්තර්ජාලය ඔස්සේ මෙම තත්ත්වය වඩාත් අවුළුවන පුද්ගලයන්ට අනිවාර්යයෙන්ම පසුතැවිලි වීමට සිදුවනු ඇතැයි ද ඔහු කියාසිටී. අගමැතිවරයා මේ අදහස් පළ කළේ 4 වැනිදා රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමිනි.
එරට Southport ප්‍රදේශයේ නර්තන වැඩමුළුවකට ඉකුත් 29 වැනිදා එල්ල වූ මාරාන්තික පිහි ප්‍රහාරයෙන් දරුවන් තිදෙනෙකු මිය ගිය අතර, තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. රුවන්ඩා සම්භවයක් ඇති 17 හැවිරිදි තරුණයෙකුට එහිදී මිනීමැරුම් චෝදනා එල්ල විය. ඔහුගේ ජාතිකත්වය සහ ආගම මුල් කර ගනිමින් විවිධ සාවද්‍ය තොරතුරු අන්තර්ජාලය ඔස්සේ පැතිරයාමත් සමග ජනතාව මුස්ලිම්වරුන් මෙන්ම පොදුවේ සංක්‍රමණික පිරිස් කෙරෙහි වෛරී සහගතව කටයුතු කිරීමට පටන් ගෙන තිබේ. මේ තත්ත්වය මත එක්සත් රාජධානිය පුරා අන්ත දක්ෂිණාංශික විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් අතර ප්‍රචණ්ඩකාරී ගැටුම් ඇතිවිය.
ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි නිරත වූ 147 දෙනෙකු 3 වැනිදා රාත්‍රියේ සිට අත්අඩංගුවට ගත් බව පොලිස් බලධාරීහු පවසති. ලන්ඩන්, මැන්චෙස්ටර්, ලිවර්පූල්, බ්‍රිස්ටල් හා නොටිංහැම් ඇතුළු ප්‍රධාන නගරවල දැඩි ප්‍රචණ්ඩකාරී ක්‍රියා පැවති අතර, කැරලිකරුවන් සංක්‍රමණිකයන් නවාතැන් ගෙන ඇතැයි සැලකෙන හෝටල් වෙත ද කඩා වැදී ප්‍රහාර එල්ලකර ඇත. තත්ත්වය සමනය කිරීමට පොලීසියට අමතර බලතල ලබා දී තිබේ.
එම අමානුෂික ප්‍රහාර කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බව ද Keir Starmer අගමැතිවරයා අවධාරණය කළේය. වැරදි තොරතුරුවලට එරෙහිව පියවර ගැනීමේ වගකීම භාර ගන්නා ලෙස ඔහු විශාල සමාජ මාධ්‍ය සමාගම්වලින් ඉල්ලා සිටියේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු අගමැති රිෂි සුනාක් පැවසුවේ අපරාධකරුවන්ට එරෙහි කඩිනම් පියවර ගැනීම සඳහා පොලීසියට පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.