කාලානුරූපීව යුගයට ගැලපෙන ලෙස චීනය ප්‍රතිසංස්කරණ සිදු කරන බැවින් වර්තමාන යුගයට ගැලපෙන සංවර්ධනයක් අත්පත් කරගෙන සිටිනවා පමණක් නොව සිය පස් අවුරුදු අනාගතය සැලැසුම් සිදු කරමින් මනා දැක්මක් සහිතව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ තුන් වැනි පූර්ණ සැසිවාරය පසුගිය දා බෙයිජිං හි දී පැවැත්විණ. එහි දී චීනයේ වර්තමාන තත්ත්වය සහ මේ වන විට මුහුණ දෙමින් සිටින අභියෝග මෙන්ම කාර්යයන් පිළිබඳ පැහැදිලි විශ්ලේෂණයක් සිදු කෙරිණ. ඒ සමගම චීන නවීකරණය යනු සාමකාමී සංවර්ධනයේ නවීකරණය බව චීනය ප්‍රකාශ කර තිබේ. විදේශ සබඳතාවලදී සාමය පිළිබඳ ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට දැඩි ලෙස කැප වී සිටින චීනය හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම සිය මූලික අභිප්‍රාය ලෙස සහතික කර ඇත.
විශාල ජනගහණයක් සහිත චීනය සමස්ත පාලන ක්‍රියාවලියේ දී ජනතා ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක කිරීමෙහි ස්ථිරව රැදී සිටී. දශක කිහිපයකට පෙර දැඩි කැපවීමෙන් සිය ශ්‍රමය රට වෙනුවෙන් මුදා හළ චීන ජනතාව මේ වන විට එහි මහඟු ප්රතිලාභ ලබමින් සිටින බව ද හෙතෙම සඳහන් කළේය. ලොව දැවැන්ත නිෂ්පාදකයා ලෙස දෙස් විදෙස් වෙළඳපොල වෙත නිමැවුම් මුදා හැරීමේ දී කාර්යක්ෂම භාවය, දැඩි විනය සහ කැපවීම චීන ජනතාවගේ සුවිශේෂත්වයයි. තම භූමියේ වගා කිරීමෙන් ගොඩනැඟුණ චීන ආර්ථිකය මේ වන විට ඉහළම නවීන තාක්ෂණ නිෂ්පාදනයට ද හිමිකම් කියයි. ආසියානු කලාපය තුළ දරිද්‍රතාවයේ සිට චීනය ක්‍රමක්‍රමයෙන් උපායශීලීව ගොඩනැඟුණ ආකාරය ශ්‍රී ලංකාව වැනි රටවල් හැදෑරිය යුතු වැදගත් පාඩම් පෙළකි.
එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඔස්සේ චීනය ආසියානු කලාපයට මෙන්ම සමස්ථ ලෝකයට ලබා දෙන සහාය ශ්‍රී ලංකාව ඇතුළු රටවලට මහඟු ශක්තියක් වී තිබේ. අන්ත දුගී රටවල් මෙන්ම සංවර්ධනය වෙමින් පවතින කලාපීය රටවල් නඟා සිටුවීමටත්, ආර්ථික ප්රගමනය, සංස්කෘතික හා මානව සංවර්ධනය උදෙසා චීනය ලබා දෙන සහයෝගය අගය කළ යුතුය. තම සංස්කෘතික පදනම මත පිහිටා, තම රටට අනන්‍ය පාලන පද්ධතියක් ගොඩනඟමින් පොදු මානව ඉරණමක් ගොඩනැඟීමට සෙසු රටවලට ඇරයුම් කරන ආසියානු කලාපයේ වේගයෙන් සංවර්ධනය වන චීනය වර්තමානයේ ගෝලීය සාමය මෙන්ම ආර්ථික ප්‍රගමණය උදෙසා ඉටු කරන මෙහෙය ප්‍රශංසනීය බව පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා වැඩි දුරටත් පැවසීය.