Masoud Pezeshkian මහතා ඉරානයේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි. ටෙහෙරාන් අගනුවර පාර්ලිමේන්තුවේ ඊයේ(30) පැවති උත්සවයකදී නව ජනාධිපතිවරයා දිවුරුම් දුන් බව ඉරාන නිල ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.
අනතුරුව, Masoud Pezeshkian මහතා ඉරානයේ ආර්ථික සංවර්ධනය, ජාතික අවශ්‍යතා සහ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමින් සිය පාලනයේ අරමුණු පිළිබඳව ද සඳහන් කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත.
එමෙන්ම ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පළ කළ Pezeshkian මහතා, කාන්තාවන් සහ දරුවන් ඇතුළු සාමාන්‍ය සිවිල් වැසියන්ට එල්ල කළ බෝම්බ ප්‍රහාර සහ එවැනි පීඩාකාරී ක්‍රියාවන්ට සහාය දුන් පාර්ශ්වයන්ට ද චෝදනා කළේය.
69 හැවිරිදි Pezeshkian මහතා පසුගිය ජූලි 6 වන දින පැවති ඉරාන ජනාධිපතිවරණයෙන් ජය ගත් අතර ඉරාන උත්තරීතර නායක අලි කමේනි එරට නවවන ජනාධිපතිවරයා ලෙස ඔහු නිල වශයෙන් නම් කෙරිණ.