සිය සංවර්ධන උපායමාර්ගයේ තවත් සුවි‌ශේෂ සන්ධිස්ථානගත අදියරකට පැමිණ සිටින චීනය
2024-07-31 14:53:31
Share with:

චීනය සිය සංවර්ධන උපායමාර්ගයේ තවත් සුවි‌ශේෂ සන්ධිස්ථානගත අදියරකට පැමිණ සිටින බව, මුදල් අමාත්‍යාංශයේ, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා කුලෝජා ගමින්දි පීරිස් මෙනෙවිය කියාසිටී. ඒ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විධිමත් මෙන්ම කාලීන මාර්ගෝපදේශකත්වය අනුව බව ද ඇය පෙන්වාදෙයි.

චීනයේ සංවර්ධන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විමසා බැලීමේ දී ඇති  විශේෂත්වය වන්නේ තම රටේ පවතින තත්ත්වයන් සහ අවශ්‍යතාව මැනැවින් වටහා ගැනීමයි. ඔවුහූ සමස්ත සැලසුම් සකස් කරන්නේ ඒ අනුව යමිනි. චීන නායකයා මේ අවස්ථාවේ හඳුන්වා දී ඇති ප්‍රතිසංස්කරණ සැලැස්ම ද රටේ වත්මන් තත්ත්වය හා ඉදිරි ගමන පිළිබඳව දිගුකාලීන දැක්මකින් යුතුව ඉදිරිපත් කර ඇත. එසේම එහිදී ද ජනතා කේන්ද්‍රීයභාවය ද මනාව කැපීපෙනේ.

චීනය නවීකරණය සඳහා තෝරාගත්තේ තමන්ටම අනන්‍ය වූ චීන මාදිලියේ ක්‍රමෝපායකි. එම නවීකරණ ක්‍රමවේද  වත්මන් ප්‍රවණතාවන්ට ගැලපෙන අයුරින් තහවුරු කිරීම සඳහා අංගසම්පූර්ණ ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාවට නැංවීමට චීනය මේ අවස්ථාවේ පියවර ගනිමින් සිටී. එය රටේ සංවර්ධනයට අදාළ වන  නීති, පරිපාලන, වෙළඳ, විදෙස් ආයෝජන මෙන්ම විවෘතභාවය  වැනි අංශ ගණනාවක් කරා ව්‍යාප්ත කිරීම සඳහා නිසි මගපෙන්වීම චීන නායකයා ප්‍රමුඛ කොමියුනිස්ට් පක්ෂය විසින් සිදුකෙරෙන බව ද පීරිස් මෙනෙවිය ප්‍රකාශ කරයි.

විවෘතභාවය සහතික කරමින්, වෙළඳ හා ආයෝජන ක්ෂේත්‍රය පුළුල් කිරීමට චීනය ගන්නා මේ ප්‍රතිසංස්කරණ පියවර සමස්ත ලෝකයටම බෙහෙවින් ඵලදායී වන බව කිව යුතුය. අන්‍යෝන්‍ය සහයෝගිතා ඔස්සේ පොදු ප්‍රතිලාභ හඹා යා යුතු බව නිරතුරුව අවධාරණය කරන චීන නායකයාගේ දැක්ම මේ අවස්ථාවේ දීත් මනාව පිළිබිඹු වෙයි. දැඩි අභියෝගාත්මක විපර්යාසයන්ට මුහුණ දෙන ලෝකයට මෙමගින් මනා අවස්ථා විවෘත වනු ඇත.

චීනය සතු දැවැන්ත වෙළඳපොළ ගෝලීය වශයෙන් තවදුරටත් ව්‍යාප්ත වීම ලොව නැගී එන ආර්ථිකයන්ට සුබ ආරංචි රැගෙන එනු ඇත. එය ගෝලීය ආර්ථික වර්ධනය සඳහා ද මනා පිටුබලයක් සපයනු ඇතැයි ද මුදල් අමාත්‍යාංශයේ, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා කුලෝජා ගමින්දි පීරිස් මෙනෙවිය පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම