චීන ජනපති සහ ඉතාලි අගමැතිනිය අතර හමුවක්
2024-07-29 19:56:42
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉතාලි අග්‍රාමාත්‍ය Giorgia Meloni මහත්මිය හමුවෙයි. අද (29) බෙයිජිං අගනුවර දී එම හමුව පැවැත්විණ.

ස්ථාවර හා විධිමත් චීන-ඉතාලි සම්බන්ධතාවක් දෙරටේ යහපතට ගැලපෙන බව චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. ජාත්‍යන්තර තත්ත්වයන් කෙතරම් සංකීර්ණ වුව ද ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කෙරෙහි චීනය දක්වන සැලකිල්ල කිසිදු අයුරකින් වෙනස් වී නොමැත. සාමකාමී සංවර්ධන මාවතේ ගමන් කරමින් ඉතාලිය ඇතුළු සෙසු රටවල් සමග සංවර්ධන අවස්ථා බෙදා ගැනීමට චීනය සූදානමින් සිටී. එසේම, ඉතාලිය චීනයේ සංවර්ධන සංකල්පය අවබෝධ කරගනිමින් ඊට සහාය දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ෂී ජින් පිං ජනාධිපතිවරයා පැවසීය. චීනය හා ඉතාලිය අන්‍යෝන්‍ය වශයෙන් සිය වෙළඳපොළ විවෘත කරමින් සහයෝගිතා පැවැත්වීමේ වැදගත්කම ද හෙතෙම අවධාරණය කළේය.  ආර්ථික හා වෙළඳ ආයෝජන, කාර්මික නිෂ්පාදන සහ විද්‍යා තාක්ෂණික නවෝත්පාදන ඇතුළු ක්ෂේත්‍රවල වඩාත් පුළුල් සහයෝගිතාවක් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ වසරේ ඉතාලි-චීන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතා වසර 20ක් සපිරේ. ලොව පැරණිතම ශිෂ්ටාචාර හිමි රටවල් දෙකක් වශයෙන් ඉතාලිය හා චීනය සැමවිටම එකිනෙකා කෙරෙහි ලැදියාව දක්වන බව Giorgia Meloni මහත්මිය එම හමුවේදී කියා සිටියා ය. වත්මන් ගෝලීය අභියෝගවලට මුහුණ දීමේදී  චීනය වැදගත් භූමිකාවක් ඉටු කරමින් සිටී. චීනය සතු වන ජාත්‍යන්තර තත්ත්වය හා බලපෑම් ඉතා වැදගත් කොට සලකන බවත්, චීනය සමග වඩාත් සමීප හා වඩාත් ඉහළ මට්ටමක හවුල්කාරී සම්බන්ධතා පවත්වාගෙන යාමට ඉතාලිය කැමති බවත් අගමැතිනිය කියාසිටියාය. ආර්ථික, වෙළඳ, විදුලි මෝටර් රථ නිෂ්පාදන, කෘත්‍රිම බුද්ධිය හා සංස්කෘතික හුවමාරු ඇතුළු ක්ෂේත්‍රවල චීනය සමග සහයෝගිතා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඇය සඳහන් කළාය. එකම චීනය ප්‍රතිපත්තිය ස්ථිරව අනුගමනය කරන බව ද ඉතාලි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර ඇත.

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම