චීන-නැනෙහිර ටිමෝර ජනපතිරුන් අතර හමුවක්
2024-07-29 15:17:39
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, නැගෙනහිර ටිමෝර ජනාධිපති José Manuel Ramos-Horta මහතා හමුවෙයි. එම හමුව අද (29) පෙරවරුවේ බෙයිජිං අගනුවර මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.

José Manuel මහතා නැගෙනහිර ටිමෝර ජනාධිපතිවරයා ලෙස චීනයේ නිල සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය යි. දෙරට අතර සාම්ප්‍රදායික මිතුදමට දිගු ඉතිහාසයක් පවතින බවත්,  නැගෙනහිර ටිමෝරය සමග විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව ප්‍රවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාව බවත් චීන ජනාධිපතිවරයා එහිදී කියාසිටියේය.

නැගෙනහිර ටිමෝරය සමග පවතින සබඳතා ප්‍රධාන ඉලක්ක 3 ක් කරා යොමු කරමින් එහි තිරසර භාවය සහතික කළ යුතු බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත උසස් මට්ටමේ සහයෝගිතා පැවැත්වීම, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝක වෙළඳ සංවිධානය ඇතුළු යාන්ත්‍රණයන් හි බහුපාර්ශ්වික සම්බන්ධීකරණ පැවැත්වීම හා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම එම ඉලක්කවලට ඇතුළත් ය.

1976 වසරේ සිට චීනයේ චාරිකා කළ බොහෝ අවස්ථාවන්හි දී තමා චීනයේ සිදු වූ විශාල පරිවර්තන සියැසින් දුටු බව නැගෙනහිර ටිමෝර ජනාධිපති José Manuel Ramos-Horta මහතා එහිදී පැවසීය. චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ සහ ගෝලීය මුලපිරුම් මාලාව ද ඔහුගේ පැසසුමට ලක්විය.  සෞදි අරාබිය හා ඉරානය අතරත්, පලස්තීනයේ විවිධ පාර්ශ්ව අතරත් සංහිඳියාව ප්‍රවර්ධනය කරන චීනය, ලෝක සාමය හා සංවර්ධනය වෙනුවෙන් වැදගත් දායකත්වයක් ලබාදෙමින් සිටින බව ද හෙතෙම කියා සිටියේය. නැගෙනහිර ටිමෝරයේ ආර්ථික හා සමාජ සංවර්ධනයට සහ කොවිඩ් වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ දී චීනය ලබාදුන් දිගුකාලීන සහාය පිළිබඳව  හෙතෙම තම කෘතඥතාව පළ කළේය. චීනය සමග විස්තීරණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමට නැගෙනහිර ටිමෝරය සූදානම් බව ද José Manuel Ramos-Horta මහතා පැවසීය.

මින් අනතුරුව  ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ සහයෝගිතා සැලැස්ම, කෘෂිකාර්මික, හරිත සංවර්ධන, ඩිජිටල් ආර්ථික සහ ගුවන් ප්‍රවාහන ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා ලේඛන අත්සන් කිරීමේ අවස්ථාවන්ට ද ජනාධිපතිවරු දෙපළ එක්වූහ.

එමෙන්ම චීන මහජන සමූහාණ්ඩුව සහ නැගෙනහිර ටිමෝර ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අතර විස්තීර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය අංගසම්පූර්ණ වශයෙන් තහවුරු කිරීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය ද දෙපාර්ශ්වය විසින් නිකුත් කරනු ලැබීය.

ගුවන් විදුලිය
20241108සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම