පලස්තීන සංහිඳියාවට බෙයිජිංහි දී ස්ථිර පදනමක්
2024-07-24 14:32:06
Share with:

දින තුනක සංහිඳියා  සංවාදයෙන් අනතුරුව පලස්තීනයේ පාර්ශ්ව 14ක් චීනයේ බෙයිජිං අගනුවර දී ‘බෙදීම් අවසන් කර, පලස්තීන ජාතික සමගිය ප්‍රවර්ධනය පිළිබඳ බෙයිජිං ප්‍රකාශනයට’ අත්සන් තබා ඇත. ඒ අනුව පලස්තීන විමුක්ති සංවිධානය, පලස්තීන ජනතාවගේ එකම නීත්‍යනුකූල නියෝජිතයා බව පිළිගැනුණු අතර, ගාසාහි පශ්චාත් යුද පාලනය, තාවකාලික ජාතික සංහිඳියා රජයක් ගොඩනැගීමට අදාළ එකඟතාවන්ට ද පැමිණ තිබේ.

මෙය ඉතා දුෂ්කර ප්‍රයත්නයක් තුළින් ලද ප්‍රතිඵලයකි. මැදපෙරදිග ප්‍රදේශයේ සාමය උදාකිරීම සඳහා මෙය අතිශය වැදගත් පියවරකි. එසේම, ජාත්‍යන්තර තලයේ දී පලස්තීනය වෙනුවෙන් සාධාරණ හා යුක්තිසහගත ලෙස ක්‍රියා කිරීමත්, පරාර්ථකාමී හැඟීමෙන් යුතුව පලස්තීනයට මානුෂීය සහනාධාර සැපයීමත් සම්බන්ධයෙන් චීනයට ස්තුතිවන්ත විය යුතු බව Fatah සහ Hamas නියෝජිත කණ්ඩායම්වල නායකයෝ විවිධ පාර්ශ්ව නියෝජනය කරමින් කළ අදහස් දැක්වීම්වල දී  කියාසිටියහ.

Fatah සංවිධානය සහ ඊශ්‍රායලය මෙන්ම එම සංවිධානය හා ජගත් ප්‍රජාව අතර ප්‍රකාශයට පත්කෙරුණු සාම ගිවිසුම් සඳහා සාමාන්‍යයෙන් පලස්තීනයේ දැඩි මතධාරී කණ්ඩායම්වල එකඟතාව මින් පෙර කිසිදු අවස්ථාවක හිමිනොවීය. එම කණ්ඩායම්, එක්සත් ජාතීන්ගේ තීරණ කෙරෙහි පවා සැකසහිත හෝ විවේචනාත්මක ආකල්පයකින් පසුවෙති. කෙසේවෙතත්, එක්සත් ජාතීන්ගේ තීරණයන්ට අනුව ජෙරුලසම අගනගරය ලෙස ගෙන ස්වාධීන පලස්තීන රාජ්‍යයක් ස්ථාපනය කරන ලෙස මෙවර ඉදිරිපත් වූ ඒකාබද්ධ ආයාචනය තුළින්, පලස්තීනයේ විවිධ පාර්ශ්ව චීන මැදිහත්වීම යටතේ තාර්කික ස්ථාවරයක හිඳිමින් ක්‍රියා කරන බව පෙන්නුම් කර ඇත.

පලස්තීනයේ විවිධ පාර්ශ්ව මෙවන් සංහිඳියා එකඟතාවක් උදෙසා බෙයිජිං නගරයට පැමිණි හේතුව කුමක් ද? ඊට ප්‍රධානම හේතුව වනුයේ, පලස්තීන ප්‍රශ්නයේ දී පෞද්ගලික ප්‍රතිලාභ හඹා නොයන චීනය සෑමවිටම සාමය හා මානව හෘද සාක්ෂිය සමග සිටින බවට ජගත් ප්‍රජාව තුළ පවතින දැඩි විශ්වාසයයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ද, පලස්තීන පාර්ශ්වය වෙනුවෙන් සාධාරණව හා යුක්තිසහගතව ක්‍රියා කරන චීනය එම මණ්ඩලයේ සභාපතිත්වය දැරූ කාලයේ, මෙවර පලස්තීන ඊශ්‍රායල ගැටුම ආරම්භවීමෙන් පසු පළමු සටන් විරාම ගිවිසුම අනුමත කිරීම සඳහා සාමාජික රටවල් පෙළඹවීමට ද පෙරමුණ ගත්තේය. මෙවර බෙයිජිංහි පැවති සංවාදයේ දී ගාසා තීරය වර්තමානයේ මුහුණ පා ඇති දුෂ්කර තත්ත්වයන්ට පිළියම් ලෙස චීනය ඉදිරිපත් කළ ත්‍රිත්ව යෝජනාවලියක් පලස්තීනයේ විවිධ පාර්ශ්වයන්ගේ ඒකමතික පිළිගැනීමට ලක්වීම ද කැපීපෙනෙන කරුණකි. 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම