මෙම වසරේ මුල් භාගයේ චීනයේ නව නාගරික රැකියා ගණන මිලියන 7 කට ආසන්නයි
2024-07-23 13:13:08
Share with:

මෙම වසරේ මුල් භාගයේ චීනයේ නාගරික රැකියා මිලියන 6.98 ක් අලුතින් නිර්මාණය වී තිබේ. චීන මානව සම්පත් සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශ දත්ත වාර්තාවන්හි මේ බව දැක්වේ. එසේම, පසුගිය ජූනි මාසයේ රටේ නාගරික විරැකියා අනුපාතය 5% කි.

විරැකියා රක්ෂණ වාරික පියවරෙන් පියවර අඩු කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙම වසරේ මුල් භාගයේදී ව්‍යවසායන් සඳහා දැරූ පිරිවැය යුවාන් බිලියන 85.9 කින් අඩු වී තිබේ. එසේම සේවකයන් ඉවත් නොකරන සහ අඩුවෙන් ඉවත් කරන සමාගම් සඳහාත් නව උපාධිධාරීන් ඇතුළු පිරිස බඳවා ගන්නා ව්‍යාපාර සඳහාත් ලබා දෙන දීමනා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

ග්‍රාමීය ප්‍රදේශවල කෘෂිකර්මය, අධ්‍යාපනය, වෛද්‍ය සේවාව සහ දරිද්‍රතාවය පිටුදැකීම යන අංශවල සේවා සඳහා සරසවි සිසුන් යෙදවීමේ සැලැස්ම මෙම වසරේත් අඛණ්ඩ ව ක්‍රියාත්මක කෙරෙනු ඇත. මේ සඳහා උපාධිධාරීන් 34,400 ක් බඳවා ගැනීමට රජයෙන් මූල්‍ය ආධාර සැපයීමට නියමිතයි.

රැකියා නියුක්ති සහනාධාරය තුළින් දරිද්‍රතාවට ආපසු පත්වීම වැළැක්වීමේ මෙහෙයුම මගින් පසුගිය මාසය අවසන් වන විට දරිද්‍රතාවයෙන් මුදා ගෙන සිටින මිලියන 30 කට අධික ජනතාවක් රැකියාවල නියුක්ත වී තිබේ. එසේම නිපුණතා වැඩිදියුණු කිරීමේ සහනාධාර ප්‍රතිපත්තිය යටතේ, මෙම වසරේ මුල් භාගයේ මිලියන 1.36 ක පිරිසකට යුවාන් බිලියන 2.3 ක දීමනාව බෙදා දී ඇතැයි ද චීන මානව සම්පත් සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම