චීනයේ ප්‍රතිසංස්කරණ තුළින් තවදුරටත් තහවුරු වන විවෘතභාවය
2024-07-22 11:52:31
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසිය සම්මත කළ‘ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කරමින් චීන මාදිලියේ නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය’ඊයේ (21) නිකුත් කෙරිණ. එම තීරණය තුළ විවෘතභාවය සහතික කිරීම පිළිබඳ විශේෂ වැඩපිළිවෙළක් අන්තර්ගත ය.

මහ පරිමාණ වෙළඳපොළ වාසිය පදනම් කරගනිමින් ජාත්‍යන්තර සහයෝගිතාවලදී විවෘතභාවයේ හැකියාවන් වැඩිදියුණු කරන බව එම සැසිය සඳහන් කළේය. භාණ්ඩ හා සාධක ගලායාම මත පදනම් වූ විවෘතභාවයේ සිට, නීති රෙගුලාසි, කළමනාකරණය, ප්‍රමිති සහ වෙනත් ක්‍රමවේද දක්වා චීනය සිය විදේශීය විවෘතභාවය පරිවර්තනය කරමින් සිටී. දේශීය ආර්ථික හා වෙළඳ රෙගුලාසි, ජාත්‍යන්තර මට්ටම හා ගැලපිය යුතු බව ඉන් පිළිබිඹු වේ. ආයතනික ගනුදෙනු පිරිවැය තවදුරටත් අඩුවී ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජනය වඩාත් නිදහස් මෙන්ම පහසු වීමත්, චීනය වඩාත් සක්‍රිය ලෙස ජාත්‍යන්තර ආර්ථිකයට එක් වීමත් මෙමගින් අපේක්ෂිත ය.

එමෙන්ම එම සැසියේදී විදේශ ආයෝජන ප්‍රයෝජනයට ගැනීම පිළිබඳ වැදගත් සැකැස්මක් සිදු කර ඇත. විදේශ ආයෝජන චීන වෙළඳපොළට ප්‍රවේශ‍වීමේදී පවතින කොන්දේසි ලැයිස්තුව සාධාරණ අයුරින් අඩු කිරීම, ‍විදේශිකයන් චීනයට පිවිසීමේ දී පවතින පහසුකම් පුළුල් කිරීම, සුදුසුකම් බලපත්‍ර, ප්‍රමිති සැකසීම හා රජයේ මිලදී ගැනීම යනාදී ක්ෂේත්‍රවල විදේශ සමාගම් සඳහා වඩාත් සාධාරණ මෙන්ම විවෘත පරිසරයක් සහතික කිරීම ඊට ඇතුළත් ය.

ගෙවී ගිය දශකයකට වැඩි කාලයක් තුළ චීනය ඉදිරිපත් කළ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ලෝකයේ රටවල් හතරින් තුනක් සහ ජාත්‍යන්තර සංවිධාන 30 කට වැඩි සංඛ්‍යාවක් ආකර්ෂණය කරගැනීමට සමත් වී ඇත. ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයකට ආසන්න ආයෝජන එමගින් ප්‍රවර්ධනය කර තිබීම ද කැපීපෙනේ. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ අධිගුණාත්මකභාවය තවදුරටත් සහතික කළ යුතු බව ද  ප්‍රතිසංස්කරණ තීරණය මගින් පෙන්වා දී තිබේ. ඉන් ගෝලීය සංවර්ධනයට නව ගාමක බලයක් තිළිණ කෙරෙන අතර, විවිධ රටවල ජනතාව‍ට ද සුබසෙත සැලසෙනු ඇත.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම