ගෝලීය තොරතුරු තාක්ෂණ ඇනහිටීම, වඩා සවිමත් සයිබර් ආරක්ෂාවක් සඳහා කෙරුණු සිහිකැඳවීමකි
2024-07-22 14:49:34
Share with:

පසුගියදා සිදු වූ ගෝලීය තොරතුරු තාක්ෂණ පද්ධති බිඳවැටීමෙන් හානි සිදු වූ මිලියන 8.5 කට අධික Windows  වර්ගයේ උපාංග මේ වනවිටත් යථා තත්ත්වයට පත්කෙරෙමින් පවතින බව වාර්තා වේ.  ගුවන් සේවා, මාධ්‍ය, සිල්ලර වෙළඳ, රෝහල්, බැංකු යන ක්ෂේත්‍රයන් හි Microsoft යන්ත්‍ර පද්ධති මෙන්ම පරිගණක වෛරස සහ අනිසි මෘදුකාංගවලින් ආරක්ෂා කර ගැනීමට CrowdStrike සේවාව මත විශ්වාසය තැබූ පිරිස මින් පීඩාවට පත්වූහ. 

ඇමරිකාවේ ටෙක්සාස් හි පිහිටි සයිබර් ආරක්ෂණ සමාගමක් වන CrowdStrike හි ලොව පුරා සිටින පාරිභෝගික ජනතාව, දෝෂ සහිත යාවත්කාලීනකරණයකින් පසු සිය වින්ඩෝස් පද්ධති බිඳවැටී ඇති බව නිරීක්ෂණය කළහ. 

Microsoft සමාගම බ්ලොග් සටහනක් තබමින් පැවසුවේ, CrowdStrike යාවත්කාලීන කිරීම Windows උපාංග මිලියන 8.5 කට බලපා ඇති බවයි. එය සමස්ත Windows යන්ත්‍රවලින් 1% කට වඩා අඩු ප්‍රමාණයක් බව ද එහි දැක්විණ.

කෙසේවෙතත් 19 වැනිදා ලොව පුරා ගුවන් ගමන් 30,000 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රමාද වූ අතර,  7,000 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ බවට ද මාධ්‍ය වාර්තා පළවිය.

 ලොව මෙතෙක් සිදු වූ විශාලතම ගෝලීය තොරතුරු තාක්ෂණ ඇනහිටීම වන මෙය සයිබර් ප්‍රහාර හෝ වැරදි අරමුණු සහිත පිරිසකගේ ක්‍රියාවකින් සිදුවූවක් නොවීම අවධානය යොමුවිය යුතු කරුණකි. එය සිදුව ඇත්තේ, සයිබර් ආරක්ෂණ මෘදුකාංගයකින් සිදුකෙරුණු සාමාන්‍ය යාවත්කාලීන කිරීමක් මුල් කරගනිමිනි. ලොව පුරා එකිනෙක ඉතා පුළුල් ලෙස බැඳී ඇති ඩිජිටල් යටිතල පහසුකම් හේතුවෙන් උද්ගත විය හැකි පද්ධතිමය අවදානමත්, ලෝකය ඒ මත රඳාපැවතීමත් සම්බන්ධයෙන් යළිත් සිතා බැලිය යුතු බව මෙම සිදුවීම මගින් මනාව පෙන්වාදී තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම