චීනයට අනන්‍ය ප්‍රජාතන්ත්‍රවාදය සමග ඉදිරියට යන අංගසම්පූර්ණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ
2024-07-22 10:27:41
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ චීනයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වනුයේ ආර්ථික, දේශපාලන, සංස්කෘතික, සමාජ සහ පාරිසරික යන අංශ පහ පුළුල් ලෙස ආවරණය කරමින් සහ ඒකාබද්ධ කරමින් පරිපූර්ණ වැඩපිළිවෙළක් ලෙසයි. මෙම අංගසම්පූර්ණ බව තුළම එහි සාර්ථකත්වය පිළිබඳ බලාපොරොත්තු ඇති කර ගත හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් සහ හිටපු කැබිනට් අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි.

මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තුළ සෞභාග්‍යමත් සමාජයක් ඇති කිරීම, පුළුල්ව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, නීතියේ පාලනය ශක්තිමත් කිරීම සහ පක්‍ෂය තුළ දැඩි විනයක් ක්‍රියාත්මක කිරීම යන සිව්වැදෑරුම් කරුණු අන්තර්ගත ය. මෙහිදී සියලු අංශ ආවරණය කෙරෙන පුළුල් දර්ශනයක් ද චීනය ඉදිරිපත් කර තිබේ. සමාජ, දේශපාලන, සහ ආර්ථික ස්ථාවරභාවයට මූලිකත්වය දෙමින් දේශීය තත්ත්වයන් පිළිබඳ ප්‍රමුඛ අවධානයක් මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ සහයෝගීතාව වර්ධනය කෙරෙන වැඩපිළිවෙළකින් ද මෙය සමන්විත ය. එනම්, චීනය මෙම ප්‍රතිසංස්කරණ ඔස්සේ උසස් ගුණාත්මක සංවර්ධනයක් පිළිබඳ අදහස ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කරමින් සිටින බව ද හෙතෙම සඳහන් කරයි.

චීනය ඔවුන්ට ආවේණික සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් නිර්මාණය කරමින් සිටී. එවැනි දැවැන්ත රටක් පාලනය කිරීමට හැකි වනුයේ ද ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකිනි. නමුත්, ඒ සඳහා බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අනුකරණය කිරීම කිසිසේත්ම යෝග්‍ය නොවේ. ඒ වෙනුවට චීනය තමන්ට අනන්‍ය ලක්‍ෂණ සහිත ප්‍රජාතන්ත්‍රවාදයක් සාර්ථකව ගොඩනඟමින් සිටින බව හෙතෙම අවධාරණය කරයි.

එමෙන්ම මෙම ප්‍රතිසංස්කරණ ඔස්සේ ඉස්මතු වන සාමය සහ සංහිදියාවට ලැදි චීන සංස්කෘතික ප්‍රවණතා ද ජාත්‍යන්තර ස්ථාවරභාවයට හිතකර තත්ත්වයක් නිර්මාණය කරමින් සිටී. එපමණක් නොව පාරිසරික ආරක්ෂාව සහතික කරමින් බලශක්තිය, ප්‍රවාහනය ආදී ක්‍ෂේත්‍රවල වර්ධනය ද නවීකරණය කිරීමේ දැවැන්ත කාර්යභාරයක් චීනය ඉටු කරමින් සිටින බව ඩිව් ගුණසේකර මහතා සඳහන් කරයි.

චීනයේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය ලෝකයටම හිතකර බව මෑතකදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උප ජනාධිපති අපේක්‍ෂක J D Vance ද ප්‍රකාශ කර තිබුණි. විශේෂයෙන්ම ඉරානය සහ සෞදි අරාබිය මිත්‍ර රටවල් බවට පත් කිරීමට චීනය සිදු කළ දායකවීම මෙයට කදිම සාක්ෂි සපයනු ඇත. එමෙන්ම ශිෂ්ටාචාර අතර සංවාදයක් ඇති කිරීමට ප්‍රයත්න දරමින් සාමකාමි ලෝකයක් පිළිබඳ අපේක්‍ෂා සමස්ත ගෝලීය පුරවැසියන් තුළ ඇති කිරීමට චීනය කටයුතු කරමින් සිටින බව ද හිටපු කැබිනට් අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම